විමල් වීරවංශ සහෝදරයාණෙනි, වලව්වෙන් මගුල් තුලාවක් කරගත්තොත් මොකද?

Posted on March 1, 2009



ඔබ ආණ්ඩුව වෙනුවෙන් කඬේ ගිය බවත් රෙදි ඇපිල්ලූ බවත් මිනිස්සු කියති. එහෙත් සමහරු කියන්නේ රටේ යහපත උදෙසා ඔබ උපායමාර්ගික අස්ථානයක් දැරුවා මිස පුද්ගලයින් ලොකු කරන්නට වැඩ නොකළ බවකි.

දෙවැන්න ඇත්ත නම් වයඹ හා මධ්‍යම පළාත්වල අය ඔබට කර ඇත්තේ බලවත් අසාධාරණයකි.

ආණ්ඩුවේ අයියලාටම මනාප දෙනවා වෙනුවට ඇමතිකමක්වත් නොගෙන රටේ යහපත වෙනුවෙන් වෙහෙස වූ ඔබට ගරු කිරීමක් හැටියටවත් ඔබේ පක්ෂයේ කීප දෙනෙකු ගොඩ දා දීමට උන් කටයුතු කළ යුතුව තිබිණි.

ඔබ සහෝදරත්වයේ දුම්රිය වවුනියාවටම ගෙන ගියේ ය. අඩු වශයෙන් ඊටවත් ප‍්‍රතිඋපකාරයක් කරන්නට උන්ට ඉඩ තිබිණි.

ඔබ පක්ෂයේ යහපතට වඩා රටේ යහපතම ඉදිරියෙන් තැබුවේ ය. ඒ නිසාම එය දෙකට කඩා අනාථ කළේ ය. අඩු වශයෙන් ඊට හෝ කළ ගුණ සළකන්නට උන් විසින් කටයුතු කළ යුතුව තිබිණි.

ඔබ විපක්ෂයට කණේ ඇගිලි ගහගන්නට ඇට්ටි හැලෙන්නට දුන්නේ ය. මේ තීරණාත්මක අවස්ථාවේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට කටයුතු කළ ඔබේ හිටපු පක්ෂයේ කට්ටියට ද ඔබ මදියි නොකියන්න දුන්නේ ය. අඩුවශයෙන් ඒ කටයුත්තට වෙනුවෙන් මීට වඩා මනාපයක් දිය හැකිව තිබිණි.

එහෙත් ඒ කිසිවක් සිදු නොවී ය. මට ඒ ගැන දුක ය. එහෙත් ඔබ මෙයින් අධෛර්මත් නොවිය යුතු ය. ඒ වෙනුවට පාඩමක් ඉගෙන ගත යුතු ය.

වලව්වල වලන් සෝදන අයට ගමේ ගෞරවය හිමිනොවේ. වලව්වකට සම්බන්ධ වන්නේ නම් මගුල් තුලාවක් හරහාවත් ඊට සම්බන්ධ විය යුතු ය.

විමලේ, දැන් මහින්ද රාජපක්ෂගේ දෑත් දෙපා ශක්තිමත් කිරීමට උඹ අඩු වශයෙන් ඇමති පට්ටමක් හෝ අරගෙන ඊට එක් විය යුතු ය. ඔය ජානිපෙ කියන අටුව කඩා දමා (එයින් උඹට වන සෙතක් නැත) ඇමති පුටුවක් හදා ගත යුතු ය.

උඹට කරුණා අංක එකේ ආදර්ශයක් දී ඇත. මට දුක කරුණාට උගන්වන්නට හැකියාව තිබූ උඹට කරුණාගෙන් ඉගෙන ගන්නට සිදුවීම ය.

කමක් නැහැ මලේ, ඔය එකකට වත් උඹ පරක්කු නැහැ. උඹේ අනාගතය තියෙන්නේ ශ‍්‍රී ල නි ප යේ. උඹේ පරණ නාඩගම් අත් ඇරල එක හිතින් පලයන්. උඹට හොඳ අනාගතයක් තියෙනව. පුලූවන් නම් මලේ ගෑනි දික්කසාද කරල බැඳ ගනින් වලව්වෙ පවුලකින්. උඹ තාම තරුණයා. උඹේ රැවුලත් එක්ක පැරණි රජදරුවන් සිහිකරවන රූපයක් -රාජපක්ෂට නොදෙවෙනි මහා පෞරෂයක්- උඹට තියෙනව.

හරි ගිය දවසක මේ මලයව අමතක කරන්න එපා.

Advertisements
Posted in: Uncategorized