මේ රට ගෑණුන්ගෙන් ජීවත් වෙන රටකි; හෙට මැරණත් හිතට සැපයි, අද ජොලි කරලා!

Posted on February 24, 2009



වතුකරයේ කාන්තාවන් තේ දලු නෙලා, රබර් කිරි කපා, උපදවන ආදායමත්, මැදපෙරදිග යන කතුන් රටට ගෙනෙන ධනයත්, ගාමන්ට් ෆැක්ටරිවල තරුණියන් වෙහෙසවී රටට ගෙනෙන විනිමයත් අප රට රකින ප‍්‍රධාන ආදායම් මාර්ග වී ඇත.

මේ රට ගෑණුන්ගෙන් ජීවත් වෙන රටකි.

ගෑණුන් අපමණ වෙහෙස වී ගේන තුට්ටු දෙක කසිප්පු බී සූදූ කෙළ නැති නාස්ති කරන පිරිමි උන්ගේ දරුවන් ද දුකේ දමති.

ගෑණුන් අපමණ වෙහෙස වී ගේන තුට්ටු දෙක යුද්ධය මිහින් එයා වැඩක් නැති රස්සා ඇතුලු තව බොහෝ දේ වෙනුවෙන් පුලූස්සා දමා ඒ සමගම උන්ගේ දරුවනුත් උන්ට අහිමි කිරීමේ අපූරු මෙහෙයුමක ද අපි අද නිරතව සිටිමු.

රට කෙතරම් සංවර්ධනය වී ඇත් දැයි කිවහොත් රට ගොස් ඇති ඥාතීන්ගේ සරණ පැතීමට ජනතාවට පමණක් නොව ආණ්ඩුවට ද සිදු වී තිබේ. ඒ ගෑණුන් ඇපයට තබා හම්බකර ගත් ඒවා විනාශ කර ගැනීමෙන් පසු ය.

බහුතරයක් වැඩිහිටි පිරිමි කරන්නේ කුමක් ද?

ගෑණු හම්බුකරන දෙයින් හොඳහැටි සප්පායම්ව ඉන්පසු මත් වී නාඩගම් නැටීම ය. සූදු කෙලීම ය. කුකුල් පොර බැලීම ය. කොඩි අරන් දිවීම ය. ඔජ වැඞීම ය. ඉපැරණි අතීතය ගැන ඒ අතීතයේ උන්ගේ මුතුමිත්තන් කළ කී දේ ගැන කෙරුවාවල් ඇද බෑම ය. ආණ්ඩුවත් උන්ගේ ගෝලබාලයිනුත් ඒ අංශයේ කප් කාරයෝය.

මේ රටේ ශේෂ පත‍්‍රය එලිපිට ලියන්නට වන දාක මේ වත්කම් හා බැරකම් ගැන හැබෑ ලෙස දැනගන්නට ලැබෙනු ඇත. එදාට ගෑණුන් හා තරුණ තරුණියන් එක්ව මේ තත්වයට වගකිව යුතු වැඩිහිටි පිරිමින් සොයා උන් ගස් අරිනවා ඇත. ඒ මහන්සියෙන් හම්බු කරගත් දේ රැක ගැනීමට නොහැකි වීමේ වරදට ය.

රට උගස් තියා දැනට අඩුපාඩු පිරිමහින නිසා මේ පිරිමි ටික දැනට බේරී සිටිති. උගස සින්න වූ දාට කොසු ඉදල් හා හැලි වළං වලින් උන් සංග‍්‍රහ ලැබීමට නියමිත ය.

ඒ ශේෂ පත‍්‍රය පසුබිමේ පිළියෙල වෙමින් පවතී.

පිටරට ඥාතීන්ගේ උදව් අවසන් වූ පසු පතන්නේ කාගේ උදව් ද? ඉන්පසු උගස් තියන්නේ කාවද? බිල්ලට දෙන්නේ කවුරුන් ද? අර කී පිරිමි දැන් ලහි ලහියේ හොයමින් සිටින්නේ ඒවා ගැන ය.

මහා භාණ්ඩාගාරය පැත්තේ ගියොත් දෙකොණ රත් වූ මේ පරපුරේ නියාමකයින්ගේ අන්තේවාසිකයින් බලා ගත හැකි ය. ගම් තුලානේ ඇවිද්දොත් හවස් වන විට බඹර පදමට ලංවී ඇති උන්ගේ අනුගාමිකයින් මුණ ගැසීමට පුලූවන.

නියාමකයින් හා අනුගාමිකයින් දෙගොල්ලෝම ගයන්නේ එකම ගීයකි. හෙට මැරණත් හිතට සැපයි, අද ජොලි කරලා! උන් පිරිමි ය.

Advertisements
Posted in: Uncategorized