බයාදු නිවට දරු පරපුරක් වෙනුවට නොබියව ඉදිරිපත් වන ප‍්‍රශ්න කරන අභිමානවත් දරු පරපුරක් තනමු

Posted on February 18, 2009



වැඳුම් ලැබීමට තබා ඇසුරුකරන්නටත් නොවටිනා වැඩිහිටියන්ට පවා දෙකට තුනට නැමී වැඳීමටත්, අනුවණ වැඩිහිටියන්ගේ මෝඩ කියමන් පවා විරුද්ධ නොවී ඉවසා වදාරන්නටත්, ඉතාම නොවටිනා වැඩිහිටියන්ට පවා ඉඩ දී පසුපසට වී සිටින්නටත්, බල කරනු ලැබ සිටින දරුවන් බයාදුව නිවටුන්ව හැදීම ගැන උන්ට දොස් කිව හැකි ද?

විචාරශීලී මනසක් වෙනුවට වහල් මනසක් තනනවා හැරෙන්නට වැඩිමනත් දෙයක් කරන්නට එවන් වටපිටාවකට හැකිවේ ද?

කුඩා අවධියේ පටන් ගානට වැඩිවන්නට දෙන්නේ නැතිව මිනිසුන් තියා ගැනීම වාසි දායක විය හැක්කේ හොරමැර කම් රජයන වංචනික පසුගාමී සමාජයකට පමණි.

අප කැමති විචාරශීලි කොල්ලන් හා කෙල්ලන් බිහිකරන්නට නම්, නිර්මාණශීලී දරු පරපුරක් තනන්නට නම්, උන් සමාජ තහංචිවල දඩු අඩුවෙන් බැඳ තබා එය කරන්නට බැරි ය. මෝඩ වැඩිහිටියන්ගේ අමණ රැහැන්වලින් උන් බැඳ තබා එ කරන්නට ද බැරිය.

එයින් අදහස් කරන්නේ කොල්ලන්ට කෙල්ලන්ට තමන් කැමති දෙයක් කරන්නට ඉඩ දී අහක බලා ගන ඉන්නට කියන එක නොවේ.

උන් කියන දෑ පසෙකට ලා උන් අධෛර්ය කරන්නේ නැතිව උන් සමග සංවාදයකට යන්නැයි කියන එක ය.

උන්ට වැඩිහිටි අපව ප‍්‍රශ්න කරන්නට වයස පරතරය පැත්තකට දා නිදහසේ ප‍්‍රශ්න කරන්නට අවස්ථාව දෙන්නැයි කියන එක ය.

ආගම ප‍්‍රශ්න කරන්න බැහැ; අපේ සංස්කෘතිය ප‍්‍රශ්න කරන්න බැහැ; යනුවෙන් ප‍්‍රශ්න කළ නොහැකි විශයන් ද,

ගුරුවරුන් ප‍්‍රශ්න කරන්න බැහැ; දෙමාපියන් ප‍්‍රශ්න කරන්න බැහැ; යනුවෙන් ප‍්‍රශ්න කළ නොහැකි පුද්ගලයින් ද,

පන්සලේදි ප‍්‍රශ්න කරන්න බැහැ; පන්තියේදී ප‍්‍රශ්න කරන්න බැහැ; පාසලේදි ප‍්‍රශ්න කරන්න බැහැ; කියමින් ප‍්‍රශ්න කළ නොහැකි ස්ථාන ද,

පිළිබඳ ලයිස්තු සකස් කිරීමෙන් තොරව  ඕනම දෙයක්  ඕනම කෙනෙක්  ඕනම තැනක දී ප‍්‍රශ්න කරන්නට ඉඩ දෙන්නැයි කියන එකය.

කොල්ලන්ගෙන් හා කෙල්ලන්ගෙන් සවුත්තු වෙන්නට අකමැති අය මේ විවෘත සංවාදය අනුමත කරන එකක් නැත.

ප‍්‍රශ්නය ඇත්තේ සිය මුග්ධභාවයත් තියාගෙන මහා මිනිසුන් ලෙස වැජඹීමට ඇති වුවමනාව තුළය. පුංචි කොල්ලෙක් හෝ කෙල්ලක අතින් සවුත්තු වෙතොත් එසේ වැජඹීමට බැරි ය.

ඒ වුනාට එළියට දමන්නේ අපේ සභ්‍යත්වය, සංස්කෘතිය හා සාර ධර්ම රැක ගැනීමට ඇති වුවමනාව ය.

අභිමානවත් දරුපරපුරක් හැදීමේ මාවත ඇත්තේ නිහතමානී වැඩිහිටි පරපුරක් හරහා පමණකි.
අධිමානයෙන් පෙළෙන වැඩිහිටි පරපුරකින් බිහිවිය හැක්කේ හීන මානයෙන් පෙළෙන දරුවන් පමණකි.

Advertisements
Posted in: Uncategorized