ගුරු-පියවරුන් හා ගුරු-මව්වරුන් වෙනුවට සේවයට කැපවුණු වෘත්තීය ගුරුවරුන් හදමුද? Beyondframeගේ අදේශපාලනික සටහන

Posted on February 17, 2009



එක්තරා පුහුණු ආයතනයක පවත්වන ලද මාද සහභාගී වූ පාඨමාලාවකට යුරෝපීය බෞද්ධ භික්ෂුවක් ද පැමිණ සිටියේ ය. සති අන්ත කීපයක් පුරා පැවති පාඨමාලාවේ මුල් දින කීපයේ මේ භික්ෂුන් වහන්සේ පැමිණියේ දේශන පටන් ගෙන මිනිත්තු 20 ක් හෝ 30 ක් පමා වී ය.

එක් දිනක් එතුමා නියමිත වේලාවට පැමිණි අතර දේශකයා පැමිණියේ වෙනදා මෙන්ම මිනිත්තු දහයක පමාවීමකින් පසු ය.

හැමදාම මිනිත්තු 20-30 පමා වී පැමිණි භික්ෂුව දේශකයාගේ මේ මිනිත්තු දහයක පමාව ඉවසන්නට සූදානම් නොවී ය. ඒ ගැන පාලන අධිකාරියට ලියුමක් ලියූ හෙතෙම මේ පමාව නිසා අසාධාරණ ලෙස ශිෂ්‍යයින්ගේ කාලය කා දමතැයි චෝදනාවක් ද කළේ ය.

ඔහු සෙසු සිසුන්ගෙන් මේ ලියුමට අත්සන් දමන ලෙස ඉල්ලූ නමුත් බොහෝ දෙනෙක් ඊට කැමති නොවූ හ. සමහරෙක් පෙරලා ඔහුට පැවසුවේ තමන් වේලාවට නොපැමිණ ගුරුවරයාගෙන් පමණක් එය අපේක්ෂා කිරීම අසාධාරණ බව ය.

ඔහුගේ පිළිතුරෙන් අපි සැවොම මවිත වීමු.

ගුරුවරයා තමන් කරන රාජකාරිය සඳහා වේතනයක් ලබයි. එසේ වේතනයක් ලබද්දී ඔහුට එසේ පමා වීමට අයිතියක් නැත. අපි මේ පාඨමාලාව සඳහා මුදල් ගෙවා පැමිණෙමු. අපට කැමති වෙලාවකට ආ හැකි ය. එයින් අලාභයක් වුවහොත් ඒ අපට ය.

ගුරුවරයෙකුගේ භූමිකාව ගැන මෙන්ම ඔහු ඇය සතු අයිතීන් හා යුතුකම් පිළිබඳ අපේ මතය යුරෝපීයෙකුගේ මතයට කොතරම් පරස්පර දැයි මට දැනුනේ තමන් නියමිත වෙලාවට පැමිණි දිනයක නියමිත වෙලාවට දොර වසා සිසුන් එලියේ තබන ලාංකික ගුරුවරුන්ද ඒ දඩුවම ඉතසිතින් බාර ගෙන කරබා ගත් වැඩිහිටි ශිෂ්‍යයින් ද මා කොතෙකුත් දැක තිබූ නිසා ය.

ගුරුවරයා අප සැළකුවේ දේශන ශාලාව නැමැති දේවාලයේ කපුවා ලෙස ය. එහි පැහැරීමට වුව ඔහුට අයිතියක් ඇතැයි අපි සිතා සිටියෙමු. එහෙත් බැති මතුන් ඔහුගේ නීතියට අනුව එහි හැසිරිය යුතු විය. දැන් මේ යුරෝපීයයා කියන්නේ වෙනත් කතාවකි. ඔහුගේ කතාවේ තර්කයක් ඇත.

ගුරුවරු පඩි ලබන්නාහු ය. උනට පඩි ගෙවන්නේ ශිෂ්‍යයින් ය.

දෙබරයකට ගල් ගැසුවාදැයි මම නොදනිමි.

සුද්දාගේම දේ හොඳ බව කියමින් සුද්දාට කඬේ යන්නේ දැයි හොඳ කුණුහරුපයක් ද කියා බැන මට ප‍්‍රතිචාර දැක්වීමට ඔබට පුලූවන. එහෙත් මේ සුද්දා බෞද්ධ භික්ෂුවකි. ඒ නිසා මට පුංචි ගැලවීමක් ද තිබේ.

ගුරු ගෝල සම්බන්ධය ගැන අලූතින් හිතන්නට අවශ්‍ය ද? නැතිනම් කෝටු මස් කිරීම ද ඇතුලූ සියලූ බලතල සහිත ගුරුවරයා තවදුරටත් එලෙසම තබා ගත යුතු ද? යන්න මා මතු කිරීමට කැමති ප‍්‍රශ්නයයි

කාලෙකට පසු අදේශපාලනික සටහනක් තැබීමේ ආශ්වාදයද තුරුලූ කරගෙන උත්තර අපේක්ෂාවෙන් සමුගනිමි.

Advertisements
Posted in: Uncategorized