පුම්බන්නේ බලාගෙන… බැලුම පුපුරන්නට ඉඩ තිබේ!

Posted on February 15, 2009



බැලුමක් ඇකිලී තිබෙන විට එහි ඇති ලස්සනක් නැත. එය පුම්බන්නට පුම්බන්නට එය ලස්සන වෙයි බලන්නට ආසා හිතෙයි.

ඉතින් මෙයින් ආස්වාදයට පත්වන්නෝ තව තවත් බැලූම පුම්බති. එවිට සිදුවන්නේ එය පුපුරා යාම ය.

ඇමරිකන් ආර්ථිකය ප‍්‍රමුඛ ලෝක ආර්ථිකයට සිද්ධවුනේ ද මේ සංගෙඩිය ය. සක්විතිට දඩුවම් මුදලාලිට හා ගෝල්ඩන් කී එකට සිදුවූයේ ද මෙයයි.

ආර්ථික කරුණුවලදී පමණක් නොව දේශපාලන කාරණාවලදීද මෙයම සිදුවෙන්නට පුලූවන.

අදින්න අදින්න ඇදෙන නිසාම පුම්බන්න පුම්බන්න පිම්බෙන නිසා ද කෙනෙක් එසේ නොකළ යුතු ය හැමදේටම සීමාවක් ඇති බැවිනි එය වඩාත් අනතුරුදායක වන්නේ ඒ සීමාව ඉක්මවන බව ඉක්මවන්නාට නොදැනෙන්නට ඉඩ තිබෙන බැවිනි සමහර විට විනාශයක් ඇති කරමින් නොසිතූ මොහොතක පුපුරා යාමට ඉඩ ඇති බැවිනි.

එහෙත් පුම්බන්නාට මේ අනතුර නොපෙනෙයි පිම්බීම නිසා ඇතිව තිබෙන ප‍්‍රතිඵලයෙන් ඔහු උද්දාමයට පත් වී ඇති නිසා ය.

ශ‍්‍රී ලංකාවට සිදුවෙමින් තිබෙන දේ සම්බන්ධයෙන් අප ලියූ බොහෝ බ්ලොග් සටහන්වලින් මේ පිම්බීම සිදුවන ආකාරය පෙන්වා දෙන ලදී. එහෙත් එයින් පිම්බීම ඉවර වූයේ නැත. ඉවර වන්නේ ද නැත. එය අපිද දනිමු. මේ ලිව්වේ පුපුරන දවසට පුපුරන බව ඔන්න අප කිව්වා යයි ලකුණු දමා ගැනීමට නම් නොවේ.

අප දිගින් දිගට බැණුම් අසමින් මේ ලියන්නේ මේ මුග්ධ පිම්බීම තේරුම් ගත හැකි කීප දෙනෙක් හෝ බිහිකිරීමට ය. මේ පිම්බීමේ නිස්සාරත්වය එහි අර්ථ ශුන්‍ය භාවය දැන ගත් වීට කළ යුතු වඩා වැදගත් කර්තව්‍යයන්ටවලට මිනිසුන් පෙළඹෙනු ඇතැයි අපි සිතමු.

වඩා වැදගත් මොනවාද?

අලූත් දේ තැනීමය. නව දේ ඉගෙනීම ය. විකල්ප හැදෑරීම ය. පැරණි දෑ නැවත විවරණය කිරීම ය. වැරදුන තැන් සොයා ගැනීම ය. නැවත වැරදි සිදුනොවීමට කළ යුත්තේ කුමක් දැයි සොයා බැලීම ය. ලෝකය විමසීම ය. ලෝකයේ විකාශනය ගැන ඉගෙනීම ය. ලෝකය යන අත ගැන විපරමෙන් සිටීම ය. අපට ශක්තිය දුන් අපේ ආගම ධර්මය නැවත හැදෑරීම ය. අපේ ඉතිහාසයම නැවත කියවීම ය. පාරම්බෑම සඳහා නොව එයින් ඉගෙන නව ලෝකයට මුහුණ දීම සඳහා එය විමසීම ය. නව කුසලතා ඇති කර ගැනීම ය. ඉංග‍්‍රීසිය ඉගෙනීම ය. වඩා දියුණු ජාතීන් අධ්‍යයනය කිරීම ය. වෙනත් රටවල මිනිසුන් අප වැනි ප‍්‍රශ්නයන්ට මුහුණ දුන් විට ඒවා විසඳාගන්නේ කෙසේදැයි පිළිවිසීම ය. විද්‍යාව හැදෑරීම ය. මිනිස් සිත හා සමාජය තුළ ක‍්‍රියාත්මක නියාමයන් කවරේදැයි දැන ගැනීම ය. නිර්මාණශීලී මිනිසුන් සමග එකතුව සමාජය නැවත ගොඩනැගීම ය.

Advertisements
Posted in: Uncategorized