ප‍්‍රශ්නෙ ඔහෙලට බාරයි; ඕන් පුලූවන් නම් විසඳල දෙන්න! මට එපාවෙල තියෙන්නෙ

Posted on February 14, 2009



අපිව බලා ගන්න ඒ කාලෙ තිස්තුන් කෝටියක මුර දේවතාවුන් හිටිය. හතරවරම් දෙවිවරු හිටියා. විෂ්ණු කතරගම දැඩිමුණ්ඩ සමන් විභීෂණ දෙවියන් හිටිය. අපට දුකක් වුන ගමන් උණුවෙන පඩුපුල් අසුනක කොයිවෙලේත් වාඩිවෙල හිටිය සක් දෙවිඳු හිටිය.

අනේ, මේ අය කොහේ ගියා ද?

මේක භාග්‍යවන්ත වූ දේශයක්. බුදුදහම රැක ගන්නට බාර දුන්නා යයි මහා වංශ කතු වරයා කියන්නෙත් ලංකාවට. ඒත් එය රැක ගන්නට හිටිය මේ මහා සේනාව හිටි හැටියේ අතුරුදන් වුනා.

අන්තිමට ඒ වගකීමත් වැටුනෙ අපේ කොල්ලො අතට. උන් මැරෙන්නම උපන් කොල්ලන් වීම උන්ගෙ පාපයකට වඩා මේ දිවයිනේ පාපයක් කියලයි මට හිතෙන්නෙ.

කට්ටියක් 71 මැරුණ. කට්ටියක් 88-89 මැරණ. කට්ටියක් 79 ඉඳන් අද වෙනකනුත් මැරෙනව.

මේ මරණ ස්වාභාවික මරණ එහෙම නෙවෙයි. නවත්වන්න හැකි මරණ. ඒත් ඒවා නවත්වන්න එක දෙයියෙක් වත් හිටියෙ නෑ.

තරුණයො දංගෙඩියට යවපු පවට ඊට පස්සෙ වැඩිහිටියනුත් උන්ගෙ දරුමල්ලනුත් හිටිහැටියේ පුපුරණ තරුණ මිනිස් බෝම්බවලින්ම මිය ගියා.

දකුණෙ තරුණයො මරපු අය උතුරෙ තරුණයො අතින් මිය ගියා.

මේ තත්වයට අනියමින් උදව් වුනු අයත් මුකුත් නොකර හිටපු අයත් මේ ඉරණමටම ගොදුරු වුනා.

අපි මරණය නවත්වන්න මරණයම තෝර ගත්ත.

වෛරය වෛරයෙන් නොනැසෙන බව කියපු බුදුදහම අතහැරල විස විසෙන් නසන්න ඕනෑ යයි කියපු ගමේ ගොඬේ දහම බදා ගත්තා.

අවිහිංසාව දේශනා කරපු හින්දු දහම අත්හැරල අනුන්ගේ ජිවිතය විතරක් නෙවෙයි තමන්ගෙම ජීවතත් නසන අමුතුම දහමක් තෝරා ගත්ත.

දෙවියො අපව දාලා ගිය නිසා අපි මෙහෙම වල් මත් වුනා ද අපි වල් මත් වුන නිසා දෙයියො අපව දාලා ගියා ද කියල මට තවම ප‍්‍රශ්නයක්.

මගේ ඔලූවට ප‍්‍රශ්නයක් ආපුවහම මං කරන්නෙ ඒක ඔහෙලගෙ ඔලූවට දාල මං නිදහස් වෙන එක. මට දැන් හිතන එක එපා වෙල තියෙන්නෙ. ඊයෙ පෙරේදා ඉඳල මගේ ඇඹේනිය කොහොමටත් විරුද්ධයි, මං හිතනවට.

ඒ නිසා ඔහෙල හිතල උත්තරයක් එහෙම දැන ගත්තොත් මෙහාටත් ලියල එවන්න.

ප‍්‍රශ්නෙ ආයි කියන්නම්. මොකද, අපව ආරක්ෂා කරන්න හිටිය දෙයියො හදිසියෙම අපිව දාලා ගියෙ, මරණය තුරුලු කරන් ජීවත්වෙන්න කියල අපිට කියල; වෙනද නත්තල් සීයා අතේ එවන සෙල්ලම් බඩු වෙනුවට මල්ටි බැරල් හා ආටි සෙල්ලම් බඩු හැටියට දීල ගියේ ඇයි කියල.

Advertisements
Posted in: Uncategorized