කටින් බතල හිටෙව්වාට අල බහින්නේ නැත

Posted on February 11, 2009



රටක් දියුණු කිරීමට කැප වී වැඩ කරන මිනිසුන් අවශ්‍ය ය. එහෙත් එවන් මිනිසුන් සිටීම පමණක් දියුණුව සඳහා ප‍්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා දක්ෂයින් ද අවශ්‍ය ය.

කැප වී වැඩ කරන්නන් දක්ෂයින් නොවීමත් දක්ෂයින් කැප වී වැඩ නොකිරීමත් රටක අභාග්‍යයට හේතුවෙයි.

මේ අවාසනාවන්ත තත්වය ඉබේ ඇතිවන්නක් නොවේ. එය පාලකයින් විසින් ඇතිකරන තත්වයකි.

දක්ෂ මිනිසුන් කැප වී වැඩ කරන්නේ ඊට ආදාළ පරිසරයක් තිබේ නම් පමණකි. අදක්ෂ පුබ්බරුවන්ට රටේ තැන හිමිවේ නම් දක්ෂයින් සිය දක්ෂතා සගවා ගනිනි. නිකම් පරිප්පු කන්නට ගායක් ඔවුන්ට නැති බැවිනි.

දේශපාලන නායකයින් සිතන පතන විදිහට සියල්ල සිදුවිය යුතුයයි සිතන සමාජයක දක්ෂයින් කට පියා ගෙන සිටීම අරුමයක් නොවේ.

පැරණි දෙයම යහපත් යයි සිතන සමාජයක නව දෙයක් බිහිකිරීමට අවශ්‍ය නැත. පැරණි දෙය ඒ හැටියෙන් ගෙන යෑමට දක්ෂයින් අවශ්‍ය නැත. අවශ්‍ය අනුගාමිකයින් පමණකි.

පුද්ගලික නිදහසකට ඉඩක් නැති, පුද්ගලිකත්වය සමාජය විසින් පාගා යටපත් කරනු ලැබූ, වැඩිදෙනෙකුගේ මතයට අන් සියලූ දෙනා යටත් විය යුතු යයි හිතන සමාජයක, සංවාදයකට ඉඩක් නැති සමාජයක. දක්ෂයෝ පසුබසිති. ඔවුන්ට රගපෑමට භූමිකාවක් එහි නැති බැවිනි.

ඒ නිසාම පසුගාමී, අතිශයින් දේශපාලනකරණීය වී ඇති, ඒකාධිපති, මිලිටරි සමාජයක දක්ෂයන් සැගව යෑම පුදුමයක් නොවේ. එක්කෝ උන් රට හැර යති. නැත්නම් මුලූගැන්වී කම්පා වී සිටිති.

යුද්ධයට බියේ රට හැර ගියවුන් යුද්ධය අවසන් කරන පණිවුඩයත් සමග නැවත එන්නට පුලූවන. එහෙත් හැබෑ දක්ෂයින් ගෙන්වා ගන්නට හා ඉන්න දක්ෂයින් ඉදිරියට ගැනීමට නම් ඊට වැඩි දෙයක් අවශ්‍ය ය.

ඒ සඳහා අවශ්‍ය නරපතියන්ගේ ආරාධනා හෝ එලූ පාවඩ හෝ නොවේ. වැඩ කිරීමේ නිදහසය. අලූත් දෑ තැනීමේ හා ඒවා අගය කිරීමේ වටපිටාව ය. වෙනස් අදහසක් දැරීමට විචාරයට ඇති ඉඩ කඩ ය. කණගාටුව නම් සීඝ‍්‍රයෙන් නැතිවෙමින් තිබෙන්නේත් ඒ අත්‍යවශ්‍ය වටාපිටාව වීමය.

කටින් බතල හිටවන්නට පුලූවන. එහෙත් ඒ බතලවල අල බහින්නේ නැත.

රට ගැන මහා ඇල්මෙන් කතා කරන්නට කාටත් පුලූවන. එහෙත් රට නගන්නට ඒ කතන්දරවලින් බැරි ය.

යුද්ධයෙන් අප ගෙනියනු ඇත්තේ වැඩිම වුනොත් පූර්ව 1983 යුගයටය. රට එතනින් එහාට ගෙනියන්නට වත්මන් යුද්ධයට භාවිතා කරන උණ්ඩ හා තුවක්කුවලට බැරි ය. ඊට අවශ්‍ය වනුයේ විචාර බුද්ධියේ හා නිර්මාණාත්මක කුසලතාවයේ උණ්ඩත් නිදහස් වටපිටාවක තුවක්කුත් ය.

Advertisements
Posted in: Uncategorized