එහෙම බැලූවහම මරණය ද සුන්දර ය

Posted on February 6, 2009



කුඩා ලමයි පෙරහැරවල් බලන්නට කැමති ය. ඊටත් වඩා ඔවුන් කැමති සෙල්ලම් බඩුවලට ය.

පෙබරවාරි 4 දා පෙරහැර බලා ප‍්‍රීති වූ මේ දරුවෝ දැන් සෙල්ලම් බඩු බලන්නට දැයට කිරුළ ප‍්‍රදර්ශනය කරා වැල නොකැඞී ඇදෙති.

ඉස්සර ළමුන් සෙල්ලම් බඩු ලෙස ආකර්ෂනය වුනේ කුඩා වාහනවලටත් ජපන් බෝනික්කන්ටත් ය. දැන් දරුවන් කැමති ආර්පීජී අතගාන්නට ය. මල්ටි බැරල් උඩ නගින්නට ය. සබ්මැරීන් බලන්නට ය.

ඉස්සර නිලාකූරූ දැක එයින් ආශ්වාදය ලැබූ දරුවන් දැන් ඒවායින් නලවන්නට බැරිය. අහස් ගුණ්ඩු පෙන්වූ කල උහු කිපෙති. උන්ට දකින්නට  ඕනෑ වේගයෙන් පියඹායන ආටි ය.

කාලය වෙනස්වන ඉක්මණ යයි අපේ ආච්චි කීවේ මේ විපර්යාසය දැකලා ය.

සතාසිවම් මිනීමැරුම මතක් කරන ආච්චි කීවේ ඒ කාලයේ එවැනි මිනීමැරුමක් මිනිසුන් දින ගණනාවක් තිස්සේ කතා කළ කම්පා කළ සිද්ධියක් වූ බව ය.

දැන් නම් මිනිහෙක් මැරුණාම බල්ලෙක් මැරුණු ගානක්වත් නැතැයි උන්දෑ විස්සෝප වෙයි.

හෙට අනිද්දා උන්දෑ නැතිවුනාම මේවා කියා අපේ හිත් තළන්නට කෙනෙක් ඉතිරිවන්නේ නැත. මේවා බලා හූල්ලන්නට උන්දෑට සිද්ධවෙන්නේ ද නැත.

එහෙම බැලූවහම මරණය ද සුන්දර ය. කළකිරෙන්නට දෙයක් එහි නැත.

Advertisements
Posted in: Uncategorized