ඉන්දියානු කණ්ඩායමට එල්ල කළ ගල් පහර ගිය දුර

Posted on February 6, 2009



ඉන්දියාව ශ‍්‍රී ලංකාවට නැතිවෙන්න පහර දුන්නේ ය. තරග තුනකදීම අන්ත පරාජයන් ගෙන දුන්නේ ය. සිව්වෙනි තරගය පැවැත්වූයේ ඒ අවමානය සමග ය.

ක‍්‍රීඩකයින්ට කෙසේ වෙතත් ක‍්‍රීඩා ලෝලීන්ට මේ දිගින් දිගට වෙන පැරදීම ඔරොත්තු දුන්නේ නැත. පහුගිය කාලයේම අපේ පේ‍්‍රක්ෂකයින් දැන සිටියේ දිනීම ම පමණකි.

ඉතින් මේ දිගින් දිගට වෙන මේ පරාජය උසුලාගත නොහැකිවීම ගැන ඔවුන්ට දොස් කිව හැකි ද?

පරාජය මෙන්ම ජයද දරා ගැනීමට නොහැකි වීම දකුණු ආසියාවට පොදු දෙයකි. ඉන්දියාවේ නම් පැරදුනාම ගල් පහර එල්ල වන්නේ තමන්ගේම ක‍්‍රීඩකයින්ගේ ගෙවල්වලට ය. ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩා ලෝලයින්ට ඉන්දියාවේ තමන්ගේ සගයින්ට වඩා අපේ කම පිහිටා ඇත.

ඒ නිසා ම ඔවුන් ගල් පහර එල්ල කළේ ඉන්දියානු ක‍්‍රීඩකයින්ට ය.

තරගය නවතා ඔවුන් ක‍්‍රීඩාගාරයට ගියේ මේ විහිලූව දුරදිග යා නොදී නැවැත්විය යුතු බව කියන්නට ය.

ගලක් ආවා මිසක එය එවූ කෙනෙක් නැත.

එය එවූ තැනැත්තා කවුදැයි බොහෝ දෙනා දැන සිටියත් ඔවුන් නොදන්නා ගානට සිටියේ තම අත පයට මෙන්ම ජීවිතයට ද ආසා නිසා ය.

දේශද්‍රෝහීන්ට සිදුවිය හැකි දෙය පිළිබඳ බොහෝ පාඩම් ලාංකිකයන්ට ඇති නිසා ඔවුන් බැරිවෙලාවත් දේශපේ‍්‍රමීන් අල්ලා දෙන්නට යන්නේ නැත.

මේක බලා සිටි මගේ බාප්පා කීවේ ගල් ගහන්නට ඇත්තේ දේශපේ‍්‍රමියෙකු නොව ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට විරුද්ධ පක්ෂයේ කෙනෙකු බව ය.

පුංචි අම්මා කීවේ එකත් එකට ම කොටියකු විය හැකි බව ය. කොටින්ට පක්ෂ තමිල්නාඩුව කොහොමටත් ඉන්දියානු කණ්ඩායම මෙහෙ එනවාට කැමතිව සිටියේ නැත.

මල්ලියා කීවේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ඉන්දියාව අතගැසීමට විරුද්ධව ජේවීපී කාරයෙකු විසින් ඉන්දියාවට විරෝධය පළ කරනු පිණිස මෙය කරන්නට ඇතැයි කියා ය.

අපේ තාත්තා කීවේ ඉන්දියානු කණ්ඩායම ගානක් දී කවුරු හරි ලවා තමන්ටම ගසා ගන්නට ඇති බව ය. ඒ පැරදුනොත් එහි බර පහර දීමට බැර කර ඇග බේරා ගැනීම සඳහා ය.

අපේ අම්මා කීවේ මේක රාජ්‍ය නොවන සංවිධානවල වැඩක් විය හැකි බව ය. ඒ, මේ වෙලාවේ ලංකාවේ නම කෙසේ හෝ කලූ කරලීමට උන්ට  ඕනෑ නිසා ය. ලෝකයම බලා සිටින වේලාවක මෙසේ කිරීමෙන් එය මනාව ඔප්පුවන බව ඇගේ අදහස විය.

මෙය ඇමරිකන්කාරයාගේ හෝ නොර්වේ කාරයාගේ වැඩක් විය යුතු යයි අපේ අයියා අදහස් කරයි. ඔහුගේ තර්කය ලංකාව ලෝකයේම ප‍්‍රසාදය දිනා ඇති මෙවන් මොහොතක කිසිම ලාංකිකයෙකු විසින් මෙවැන්නක් කිරීමට කිසිදු ඉඩක් නැති බව ය.

මට නම් හිතෙන්නේ මේ ජයග‍්‍රාහී මොහොතේ අප පරාජය කිරීමට වැරදැරීමෙන් ඉන්දියාව වැඩ වරද්දාගෙන ඇති බව ය. මගේ අදහස ඉන්දියාව මෙයින්වත් පාඩමක් ඉගෙන ගනු ඇති බව ය. අපේ කොල්ලෙක් අමතක නොවන්නට ඒ පණිවුඩය නම් යවා ඇති බව ය .

එහෙත් ගෙදර කාටවත් මේ අදහස කියන්නට තරම් මා නිර්භීත නැත. කට්ටිය එකතුව මා කම්බස් කරන්නට ඉඩ ඇති බැවිනි.

ගෙදර උන් ඉන්දියාවට ගල් ගසනු දැකීමට කැමති ය. එහෙත් ගල් ගැසුවේ ලංකාවේ එකකැයි ලෝකයා දැනගන්නවාට ද අකමැති ය.

Advertisements
Posted in: Uncategorized