බල්ලන්ට ගිය රජයේ ආයතන

Posted on February 5, 2009



විවිධ වර්ගයේ බල්ලන් ඇත. එක් බේදයක් කකුල් ගණන අනුවය. කකුල් හතරේ සහ දෙකේ බල්ලන් වශයෙනි.

මාතෘකාව නිසා බොහෝ දෙනෙකු පිට පොට පටලවා ගත හැකි නිසාම මා මේ කියන්නට යන්නේ කකුල් හතරේ බල්ලන් ගැන බව මුලින්ම කිව යුතු ය. රාජ ඌෂ්ණය නිසා කකුල් දෙකේ බල්ලන්ද රාජ්‍ය ආයතනවල වෙන ආයතනවලට වඩා වැඩියෙන් සිටිය හැකි බව වෙනම කාරණයකි. මෙහිදී ඒ ගැන කල්පනා කොට නැත.

පෙරකී කකුල් හතරේ බල්ලන් රාජ්‍ය ආයතන තුළ දැන් වැහි වැහැලා ය. එක් හේතුවක් නම් දවල්ට ඉතිරි වන ආහාර කුණු බක්කියට දැමීම අපරාධයක් සළකන බොහෝ දෙනා මේ කන්තෝරුවල සිටීම ය. අනෙක  තමන් ලගට සේවා ලබා ගැනීමට එන මිනිසුනට දෙන්නට නැතත් සතුන්ට දීමට තරම් සත්ව කරුණාවක් අප අතර පොදුවේ තිබීම ය.

අහක දාන කෑම ටික දන්දීමට සතෙකු සොයනවා විනා ඉන් එහාට සතා ගැන බැලීමට තරම් ඉස්පාසුවක් කාලයක් වුවමනාවක් කැක්කුමක් මේ අයට නැත. ඒ නිසාම සත්ව කරුණාව දවල් දානයෙන් එහාට නොයයි.

ඉතිරිවා බලා ගැනීමේ වගකීම දැරීමට කෙනෙකු නැත. ඒ නිසා බල්ලන්ගේ සියලූ ගෙම්බර බැලීමට සිදුවන්නේ ආයතනයට යන එන උදවියට ය.

වෙනදා අයාලේ යන බල්ලන් කුදලාගෙන ගොස් වනසා දැමීමට නගර සභා වලට බාර දී තිබිණි. ඒ අය ද දැන් සිල් ගෙන ඇති නිසා ඒ පවට සම්මාදම් වන්නේ නැත. ඒ වෙනුවට දැන් වඳ ඉන්ජෙක්සන් ගසන්නේ යයි කියනු ලැබේ. ඒ ද කොන්දේසියකට යටත්ව ය. එක් වරක් හෝ පැටව් හම්බවුණු බලූ මායියන්ට පමණක් ලැබෙන සත් කාරයකි ඒ. බැල්ලියගෙන් අසා දැනගත යුතු මේ කාරණය කීමට ඉදිරිපත් වන බැල්ලියන් නැති නිසාදෝ එය සිදුවන්නේ ද නැත.

රටම බල්ලන්ට ගිය කලෙක රාජ්‍ය ආයතන විතරක් බල්ලන්ගෙන් බේර ගන්නට හදන්නේ මොන කෙංගෙඩියකට දැයි ඔබ අසන්නට පුලූවන. මට කලින් නොසිතුනාට එයත් සැබෑවකි.
මින් පසුව රාජ්‍ය ආයතනයකට ගොඩ වන විට බල්ලන් මේච්චල් කරගත හැකි පොල්ලක් අරං යමු. ඒ උපදෙස දෙන්නේ රාජ්‍ය ආයතන හදනවාට වඩා ආරක්ෂා සහිතව නැවත ඒම සහතික කර ගැනීමට කටයුතු කිරීමෙන් සැනසිය හැකි නම් එය වඩා පහසු බව මට ද ඒත්තු ගිය නිසා ය.
මිනිසුන්ට නොපෙනෙන්ට එය සගවා ගෙන යෑමේත් බල්ලන් බිය වැද්දීමට මිනිසුන්ට බැරිවෙලාවත් නොපෙනෙන සේ එලියට ගැනීමේත් වගකීම ඇත්තේ ඔබට ය.

ඔබට බල්ලන්ගේ පිහිටයි. ආරක්ෂාවයි.

Advertisements
Posted in: Uncategorized