සමරණ නිදහස කෙබඳු එකක් ද?

Posted on February 4, 2009



නිදහසෙන් පසු වසර 61 ඉතිහාසය දෙස නැවත හැරී බැලූ විට අපට පෙනෙන්නේ කුමක් ද?

අප ජයග‍්‍රහණ මෙන්ම පරාජයන් ද ලබා ඇති බව ය.

ලැබූ පරාජයන් ජයග‍්‍රහණ ඉක්මවන බව ය.

අපට වඩා නොදියුණු ජාතීන්ව සිටි බොහෝ රටවල් අප පසු කර ගොස් ඇති බව ය.

අප තවමත් අපේ අඩුපාඩුකම් සොයා ඒවා නැති කර ගැනීමට කටයුතු කරනවා වෙනුවට එහෙම ඒවා අපට නම් නැතැයි කියමින් අපේ අභාග්‍යයට අනෙකා හේතුවක් කරගෙන ඇති බව ය. ඒ නිසාම අපට තවමත් නිදහස් වෙන්නට නොහැකිව ඇති බව ය. ඉදිරියට යන්නට නොහැකිව පසුවෙන බව ය.

මේ භාග්‍යලත් දේශය සුරපුරයක් කළ හැකිව තිබියදී අප එය සාපලත් දේශයක් බවට පරිවර්ථනය කර ගෙන ඇති බව ය.

ජීවිත පරදුවට තබා රට යෑම හැරුණු කොට ජීවිත පරදුවට තබා යුද්ධ කිරීම ජීවත්වීම සඳහා තෝරා ගත හැකි ප‍්‍රධානම මාර්ගය සේ අප තරුණයන්ට හඳුන්වා දී ඇති බව ය.

මරණයට පත් කිරීම දුර්ලභ කාරණයක් වූ රටක මරණයට පත් කිරීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් කර ගෙන ඇති බව ය. මරණයට මෙන්ම හිංසනයටද අසංවේදී වූ නිර්වින්දනය කරන ලද ජාතියක් බවට අප අපව පත් කර ගෙන ඇති බව ය.

වැන්දඹුවන්, අත්පා අහිමිවූවන්, අවතැන් වූවන් හා සිහිවිකල් වූවන්ගේ දේශයක් අප විසින් හදාවඩා පෝෂණය කර ඇති බව ය.

දකුණේ කැරලි දෙකක්ද උතුරේ දිග්ගැස්සුණු යුද්ධයක් ද නිර්මාණය කර ගත් බව ය. මේවායේ වගකීම අප විසින් ගනු වෙනුවට එය විදේශිකයින්ට, ප‍්‍රභාකරන්ට හා රාජ්‍ය නොවන සංවිධානවලට පවරමින් සිටින බව ය. ඒ නිසාම ඒවායින් ගැලවීමට නොහැකිව සිටින බව ය.

බලාහාත්කාරය යටපත් කර දැමීම හා මර්දනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට අප විසින් වඩ වඩාත් ඉල්ලා සිටින බව ය.

නඩු ඇසීම හා දඩුවම් දීම විවෘත අධිකරණයකින් කරනු වෙනුවට රජකාලේ දඩුවම් නඩු ඇසීමකින් තොරව මහමග සිදුකරන්නාවූ දේශයක් අපේ නිශ්ශබ්ද අනුමැතිය යටතේ නිර්මාණය වෙමින් තිබෙන බව ය.

දියුණු ජාතියක් විසින් පවත්වාගෙන යනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙනුවට නොදියුණු ජාතිකයින් විසින් පවත්වාගෙන යන රාජාණ්ඩුවක් අප විසින් අපේ කැමැත්ත ඇතිව ගොඩනගමින් සිටින බව ය.

විචාර බුද්ධිය වෙනුවට උන්මාදයත්, ප‍්‍රශ්න කිරීම වෙනුවට නිශ්ශබ්දතාවයත්, නව දේ තැනීමට උත්සුක වීම වෙනුවට පැරණි දේ වන්දනා කිරීමත් අප විසින් තෝරාගෙන තිබෙන බව ය.

සෙසු රටවල් ඉදිරියට යද්දී අප අතීතය දෙසට ආපසු ගමනක් යමින් තිබෙන බව ය.

මේ කතාව ඇත්තදැයි විමසනු වෙනුවට එය කියන්නන්ට නින්දා අපහාස කොට ගරහා පහර දී හෝ මරා දමා මේ යන මගම යන්නට ඉඩකඩ සළසා ගනිමින් සිටින බව ය.

සිය කැමැත්තෙන්ම පරිහානියත්, අවමානයත්, දුකත්, මරණයත් තෝරාගෙන ඇති බව ය.

Advertisements
Posted in: Uncategorized