ඊනියා (බූරු-කැට්)රජයේ නිලධාරියා – Typical Sri Lankan Bureacrat

Posted on February 3, 2009



දැනගෙන සිටීම කාටත් හොඳ ය. දැකිය හැකි පොදු ලක්ෂණ මෙසේ ය.

ඉහළ කිසිවෙකු දෙකට නැමෙන්නට කීවිට ඔහු තුනට නැමේ. පහළ කවරෙකු හෝ ගෙන එන අදහසක් පිළිබඳව නුරුස්නා ස්වභාවයක් පළ කරයි. අහන්නට අකමැති වෙයි. ඇහුන ද නෑහුනාක් මෙන් සිටියි.

ඉහළ කිසිවෙකු යමක් කියා ගෙන යන විට එය ඉවර කරන්නට ද මත්තෙන් ඔහු එය පිළිපදින්නට දුවයි. පහළ කිසිවෙකු යමක් කියා ගෙන යන විට එයින් මග හැරිය නොහැකි නම් එය අතහැර දමන්නට ද ඔහු දුවයි. අවස්ථා දෙකේ දීම ඔහු පළකරන්නේ තමන් හදිසියෙන් යමක් කරන්නට හදන බව ය.

ජනතාවට පිටුපෑවද ජනතා නියෝජිතයන්ට ඔහු සංවේදී ය.

නීතියට ඔහු බයය. නීතියටත් වඩා ඇත්තටම ඔහු බය නීතිහදන්නන්ට හා ඒවා ක‍්‍රියාත්මක කරන්නන්ට ය. බල පුලූවන්කාරයින් ඉදිරියේ අචේතනික නීතිය පවා පක්ෂපාත වන බව ඔහු දනියි. ඒ නිසා ඉහළින් එන යමක් කරන්නට නීතියෙන් ඇති පිළිසරණත් පහලින් එන යමක් කිරීම වැළැක්වීමට නීතියෙන් ඇති ඉඩකඩත් සොයා ගැනීමේ ඔහු දක්ෂ ය.

ජාතික ගීය දිනපතා ප‍්‍රචාරය කරන්නට නියෝග දුන්විට ඔහු ඊට තවත් දේශානුරාගී ගීද එක්කොට උදේ හවස එය වාදනය කරන්නට පවා ඔහු ඉදිරිපත් වෙයි. ආගම සම්බන්ධයෙන් රජය හා විශේෂයෙන් ඇමති සැළකිලිමත් නම් කාක බෝපැළයක් හෝ ශ‍්‍රී මහා බෝධියේ අත්තක් ලෙස හඳුන්වමින් ගෙනත් ආයතනයේ කුඩා මිදුලේ ඇමති තුමා ලවා පැලකර සාත්තු සප්පායම් කිරීමට ඔහු ඉදිරිපත් වේ.

කාර්යාලයේ ඇතුලේ තිබූ බුදුපිළිමය මිදුලට වඩම්මා බුදු මැදුරක් කරවා ඇමති ලවා විවෘත කරවා උදේ හවස වඳින්නට ද ඔහු පෙළඹේ.

ජනපති ගම ගැන උනන්දුවන නිසා යම් තරගයක් පවත්වා තෑගි දෙනවිට වඩා හොඳ දෙය කුමක් වුවද කොළඹින් නොව ගමෙන් ඉදිරිපත් වන දෙයක් සොයා තෑගි දීමට තරම් ඔහු ඥානාන්විත ය. ඒ සඳහා හම්බන්තොටින් යමක් සොයා ගන්නට හැකි නම් ඔහු තමන් වාසනාවන්තයෙක් ලෙස සළකනු ඇත.

බණ කීමෙහි දක්ෂය. පිළිපැදීමේ දී හේ ඉතා දුර්වල ය.

ඔහුට ආඳෙකු මෙන් ලිස්සා යා හැකි ය. නයෙකු මෙන් පිප්පිය හැකි ය. කබරයෙකු මෙන් ඕනෑම දහජරාවක් ගිලිය හැකි ය.

පිදිය යුත්තන් පිදීමටත් ඉඩ ලද හැමවිටම ඉහගෙන කෑමටත් ඔහු එකසේ දක්ෂ ය.

කටුස්සෙකු සේ පාට වෙනස් කිරීමේ ද දක්ෂ ය. පරිසරයට අනුවර්තනය වීමේ ලා වෙනත් කිසිම සත්ත්ව විශේෂයක් නොපෙන්වන හැකියාවක් ඔහු පෙන්වයි. ඒ නිසාම ඕනෑම දේශපාලූවෙකුට ඔහුගෙන් සැකයක් නැතිව වැඩ ගත හැකි ය.

බූරුවෙකු මෙන් තප්පුලන්නටත් පූසෙක් මෙන් කුඩා සතුන් හඹා ගොස් දඩයම් කරන්නට හා ලොකු සතෙකු දුටුවිට වලිගය අකුලාගෙන හැංගෙන්නටත් දක්ෂ නිසා බූරු කැට් යයි ඔවුන්ට කියනු ලැබේ යයි එක් මතයකි.

ඒ පැත්ත පෙරලූනත් මේ පැත්ත පෙරලූනත් ඔහුට ගැටලූවක් නැත. ඔහුට පෙරලූන පැත්ත හොඳ ය.

අද රට යන අත දෙස බලන විට රාජ්‍ය නිලධාරියා පමණක් නොව පෞද්ගලික අංශයේ නිලධාරියා ද මේ චරිත ලක්ෂණවලින් සමන්විත විය හැකි බවට ලකුණු තිබේ. ඒ නිසාම වෙන්කර ඇඳින ගැනීමේ අපහසුවක් ඉදිරියේ ඇතිවිය හැකි ය.

Advertisements
Posted in: Uncategorized