ඇත්තටම එහෙම වෙයි ද? 61 වසරක් නොදුටු නිදහස මේ පෙබරවාරියෙවත් ලැබේ ද?

Posted on February 2, 2009



(My previous blog post did not appear in the Sinhalabloggers syndicator. Hope this would.)

යුද්ධය අද හෙට දිනාවි.

එහෙම හිතන අය තුළ පවා උත්තර නැති ප‍්‍රශ්නයක් ඉතිරව ඇත. ඒ ඊළගට වෙන්නේ කුමක් ද කියා ය. ඒ ප‍්‍රශ්නය යුද ජයග‍්‍රහණයේ උන්මාදය අවසන් වීමත් සමග වඩාත් දැඩිව නැගෙනු ඇත.

වාසු හිතා ඉන්නේ මහින්ද බන්දේසියක තබා බලය විමධ්‍යගත කිරීමක් උතුරේ ජනතාවට දෙනු ඇතැයි කියා ය. ජවිපෙ බියෙන් පසුවන්නේ ද ඊට ය. ඔවුන් සිතන්නේ ඉන්දියාවේ ආධාරයද ඇතිව ආණ්ඩුව කිසියම් දේශපාලන විසඳුමකට යනු ඇතැයි කියා ය (එලූවාගේ බෙල්ලත් කපා දැන් මුට්ටියත් කුඩු කරගන්න හදන්නේ ඇයි).

ඩග්ලස් දේවානන්ද හිතාගෙන ඉන්නේ පැරා මිලිටරියක් සහිතව උතුරේ ඔහු අභිෂේක කරනු ඇතැයි කියා ය (එලූ මස් කටු සූප්පු කළ හැකි ය).

තිස්ස විතාරණ හිතා ඉන්නේ තමන් මහන්සියෙන් ගොඩනැගූ යෝජනාවලිය දැන් ආණ්ඩුව විසින් කි‍්‍රයාත්මක කරනු ඇතැයි කියා ය. ඒ මගින්වත් අනාගත දේශපාලන සිතියම තුළ පුංචි වැයික්කියක් තමන්ටත් මියැදෙමින් ඇති තම පක්ෂයටත් ලබා ගත හැකි යැයි කියා ය (බය ඇත්තේ එලූ බෙල්ල කුණුවී දුගඳ හමනු ඇතැයි කියා ය. ඒ නිසා දැන් හෝ මුට්ටිය බිඳිම හොඳ ය).

එජාපය බියෙන් පසුවන්නේ යුද්ධය භාවිතාකර සියල්ල මර්දනය කර තව වසර ගණනාවකට නොසෙල්විය හැකි බලයක් ආණ්ඩුව නතු කර ගනු ඇතැයි කියා ය. මේ ආත්මයේ බලයට පත්වීමේ බලාපොරොත්තුවක් තබා ගත නොහැකි වේදැයි කියා ය (එලු සුප් සුවඳ නම් පංකාදුය; එලුවා එලා ගන්නට තිබුනේ අපට ය) .

පාලකයින් හිතා ඉන්නේ නැදෑ සනුහරයට ද සළකමින් තමන්ගේ මඩිය තර කර ගැනීමට මෙයින් පැහැදිලි බල පත‍්‍රයක් ලැබෙනු ඇතැයි කියා ය (එලූ සුප් රසය. මස් ද හොඳ කරියක් හෝ ඩෙවිල් කරගත් විට පංකාදු පහය).

දකුණේ ජනතාව සිතා සිටින්නේ සාමය උදාවී රට සමෘද්ධිමත් වී තමන්ටත් තම දරුවන්ටත් හොඳ කලක් ගත වෙනු ඇතැයි කියා ය (මොකක් සිදුවුනත් දැන් කරදරය ඉවරය; එලුවා ගැන හෝ මුට්ටිය ගැන දැන් සිතන්නට වන්නේ නැත).

දෙමල ජනතාව කිසි දෙයක් හිතාගන්නට බැරිව අතරමංව සිටිති. එල්ටීටිය නැති රටක තමන්ට ලැබෙන සැළකුම කෙසේ වෙත් දැයි ඔවුහු අවිනිශ්චිතතාවයෙන් පසු වෙති.

එල්ටීටිය හිතනු ඇත්තේ කුමක් ද? උන් හිතන එක මොකට ද? එහෙම උන් ටිකක් මේ යුද්ධයෙන් පසු ඉතිරිවන්නේ නැත (කැපූ එලූ බෙල්ලට පණ එන්නේ කොහොම ද?)

ඇත්තටම එහෙම වෙයි ද?

Advertisements
Posted in: Uncategorized