එවන් රටකට අතීතයක් මිස අනාගතයක් නැත

Posted on January 29, 2009



අප බොහෝවිට කරන්නේ වැල යන අතට මැස්ස ගැසීමත්, ගග ගලන අතට පිහිණීමත්, වැඩිදෙනෙක් කරන දෙය කිරීමත්, රංචුව සමග දිවීමත් පමණකි.

එය කරදරයෙන් තොර ය; පහසු ය; ප‍්‍රතිලාභ වලින් පරිපූර්ණ ය.

එහෙත් එයින් රටට ලෝකයට එකතුවන දෙය අල්පය.

රට ලෝකය වෙනස් වන්නේ හැමදෙනා කරනවාට වඩා වෙනස් දේ කරන හැමදෙනාට වඩා වෙනස් ලෙස සිතන මිනිසුන් නිසා ය.

ඒ අය මුලදී විහිලූවටත් ඊලග නොසැළකිල්ලටත් ඊටත් පසුව අපහාසයටත් එයිනුත් නොනවතින්නේ නම් හිංසනයටත් යටත් කරනු ලැබේ. එහෙත් ඔවුන් කාලයත් සමග නිවැරදි බව ඔප්පු වන්නේ නම් ඒ අපහාස උපහාස නිග‍්‍රහ සහ අඩම්තේට්ටම් කළ උදවියම අර වෙනසක් වෙනුවෙන් කතා කළ උදවියට මල් පුදන්නට ද වන්දනා කරන්නට ද ඉදිරිපත් වෙති.

එහෙත් එසේ ඉදිරිපත්වන ඇතැම් වෙලාවක එසේ පුදන්නට එකෙක් ඉතිරව නැත. ජනයා විසින් තාඩනයට පීඩනයට ලක් කොට පාලකයින් විසින් මරා දැමීම නිසා ඔවුන් ජිවිතය හැර ගොස් ඇති බැවිනි.

නව දෙය නොතනන ජාතිය ලොව නොනගී යයි මුණිදාස කුමාරණතුංගයන් කීවේ නිකම්ම නොවේ. එය ලෝකය සමග හෝ එය පරයා හෝ ඉදිරියට යන්නට ඇති එකම ක‍්‍රමය නිසා ය.

අප ඇති කරන්නේ මහ උදවිය කියන දෙයට, වැඩිදෙනා කියන දෙයට, ඔලූව වනන්නට සූදානම් පිරිසක් නම් එවන් තැනක නව දෙයක් බිහිවෙන එකක් නැත.

එහෙත් උඩුගං බලා පීනන අය වෙනස් විදිහට හිතන අය වලපල්ලට යවන්නට හදන රටක ඉතිරිවන්නේ ඔලූව වැනීමට පමණක් පුලූවන් අයය.

එවන් රටකට අතීතයක් මිස අනාගතයක් නැත.

Advertisements
Posted in: Uncategorized