කඬේ යවා ඇති ජාතික කොඩිය හා ජාතික ගීය

Posted on January 22, 2009



බුන්දි බ්ලොග් අඩවියේ ඉන්දියාවේ නිශ්පාදිත වීඩියෝ පට කීපයක් දක්නට ලැබිණි. සටහනට යොදා තිබුනේ අකරු වෙනුවට විඩියෝ කියවන්න කියා ය.

එයින් ඉන්දීය චරිතය දියුණු කිරීමට කරන උත්සහයක් ද ඉන්දීය ජාතික ගීය ට හා කොඩියට දක්වන බුහුමනක් පිළිබඳ මනරම් කතා දෙකක් ද අඩංගු ය.

ඉන්දියාව නැමැති ලොකු අයියා සමග සංසන්දනය කරන්නට කාලයක් වෙන් කරන්නැයි ශ‍්‍රී ලාංකිකයන්ගෙන් කරන ඉල්ලීමක් ද එහි විය.

ජාතික ගීයටත් ජාතික ධජයටත් ගෞරව කළ යුතු බවට විවාදයක් නැත.

එහෙත් මේ දෙක දේශපාලනඥයින් විසින් වෛශ්‍ය වෘත්තියේ යෙදවූ විට සිය දේශපාලන න්‍යාය පත‍්‍රයන් සාක්ෂාත් කරගැනීම සඳහා කඬේ යැවූ විට එය පීඩනයේ සංකේතයක් බවට පත් කර ගත් විට තැන නොතැන නොබලා සිය ප‍්‍රචාරය සඳහා ඒවා එලිදක්වන්නට ප‍්‍රදර්ශනය කරන්නට නියෝග කරන විට එය ඒ නිසාම අතිශය දෛනික කටයුත්තක් වන විට ඊට ගෞරවය කරන්නාට කිසියම් අපහසුතාවයක් දැනෙයි.

පෞද්ගලික රෝහලක ජාතික ගීය විකාශනය වෙනුද සියලූ දෙනා සීරුවෙන් සිටිනු ද දුටුවෙමි. රෝහලක් යනු හැමවිටම රෝගීන් වෙනුවෙන් සේවය කරන හැම දෙනා හැම මොහොතකම පේවී සිටිය යුතු තැනකි. එවන් තැනක ජාතික ගීය විකාශනය වීම නිසා ජීවිත නැතිව යාමේ අනතුරක් වුව තිබිය හැකි ය. තැන නොතැන නොබලා මෙසේ ජාතික ගීය විකාශනයට පෞද්ගලික රෝහල් පවා පෙළඹී ඇත්තේ ජාති ආලයට එහා ගිය කාරණා නිසා ය. ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රයට වැඩ නොකිරීම සිය ව්‍යවසායකයට අලාභ පිණිස හේතු විය හැකි නිසා ය.

ජාතික ගීය හා ධජය මෙසේ වෛශ්‍යා වෘත්තියේ යොදවන විට එය සමග අනන්‍ය වීම අපහසු වන්නේ මෙවැනි කාරණා නිසා ය

ඒ නිසා ම ජාතික ධජයේ හා ජාතික ගීයේ ගෞරවය රැුක ගැනීමට පවා අරගල කළ යුතු සමයකට අප පැමිණ තිබේ.

මේ ජාතික ගීයේත් මේ ජාතික කොඩියේත් සියලූම ජාතිකයින්ට අනන්‍ය විය හැකි ඇතුළත් කමක් තිබේ ද යන්න ද අමතර වශයෙන් විමසිය යුතු කරුණකි.

එය වඩාත් වැදගත් වන්නේ වාර්ගික අර්බුදයක අප කරවටක් ගිලී ඇති නිසා ය. එය අවසන් කරන්නට යුද්ධය තෝරාගෙන ඇති නිසා ය. ඒ යුද්ධයේ සංකේතයක් ලෙස ජාතික ගීයත් ජාතික කොඩියත් කඬේ යවා ඇති නිසා ය.

අප හැමටම ගෞරව දැක්විය හැකි කොඩියක් ගීයක් හා එක් ශි‍්‍රලාංකික අනන්‍යතාවයක් ඇති සමයක් ඉක්මණින් එළඹෙතැයි පතනවා හැරෙන්නට මෙයින් ගැලවෙන්නට මගක් නැත.

එතෙක් හිත යට එකක් තබා ගෙන ලෝකයට පරකාසෙට තව එකක් කරන්නට වීම ගැන මැසිවිලි නගනවා හැර කළ හැකි වෙනත් දෙයක් ද නැත.

Advertisements
Posted in: Uncategorized