මරා දැමූ තැනැත්තා දෙවැනි වරට මරණයට පත්කිරීම හෙවත් ලංකාවේ ඛේදවාචකය

Posted on January 20, 2009



මරා දමනු ලැබූයේ ලසන්තව ය. මරණයට වග උත්තර බඳින්නට සිදුව ඇත්තේ ආණ්ඩුවට ය. ඒ වග උත්තර බැඳීම සඳහා සාක්ෂිවලට කැඳවීමට සිදුව ඇත්තේ ද මරා දමනු ලැබුවා වූ ලසන්තම ය.

කැඳවන්නේ ආණ්ඩුව මෙහෙවන ජනාධිපති උතුමන් විසින් ම ය. ඒ දෙවැනි වරට ද මරණයට පත් කළ මිනිසාගේ ආත්මය මරා දමමිනි.

තමන්ගේ ගැලවීමට ජනාධිපති උතුමන්හට කැඳවන්නට වී තිබෙන්නේ තමන්ගේ ගෝලබාලයින් විසින් මරා දැමුවයි සැළකිය යුතු පිරිසක් තමන්ට චෝදනා කරන තමන්ගේ පැරණි මිතුරාගේ අවතාරය වීම ඛේදවාචකයක් නොවන්නේ ද? ඒ සඳහා මිතුරාට දෙවැනි වරටත් ද්‍රෝහියෙකු වීම ඛේදවාචකයක් නොවන්නේ ද?

අනේ අපොයි කියා ඉස්සර උපාසකම්මලා කම්මුලට අත් ගහගන්නේ මෙවැනි විගඩම් දුටු විට ය. දැන් උපාසකම්මලා ජාතිය ගලවා ගැනීමේ අවසාන සටනින් කුල්මත් ව ඇති නිසා අත යන්නේ කම්මුලට නොව අප්පුඩි ගැසීම සඳහා අනිත් අත සොයා ගෙන ය.

ඒ නිසා කම්මුලට අත ගහගන්නට සිදුව ඇත්තේ නරුම අපට ය.

මෙය අරුමය දනවන අවස්ථාවකි. අරුමය වන්නේ මිනීමරුවාගේ ගැලවීම මරණයට ලක්වූ තැනැත්තාගේ ආත්මය තුළ පැවතීම ය.

මේ සියල්ල සිදුවන්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේ ය; දකුණු ලකේ අගනගරයේ ය; වරක් ජාතිවාදී කෝලාහලවලට (1983) ඒ අසලකවත් සිටියේ නැති එවැන්නක් ගැන සිහිනෙනුදු නොසිතූ පාර්ශව දෙකක් (කොමියුනිස්ට් පක්ෂය හා නව සමසමාජ පක්ෂය) හදිසිනීතිය යටතේ තහනම් කළ රටක ය (කොමියුනිස්ට් පක්ෂය හා නව සමසමාජයේ සිටි වාසු දැන් ජාතිවාදී ගොහොරුවේම ජීවත්වීමට ගෙන ඇති තීරණය ඒ කාලයේ කළ තහනම හා සම්බන්ධ නැත).

එහෙම ගත්තහම වැරදි කාරයින් කවුදැයි නොසොයා විරුද්ධ කාරයින්ගේ ඇගට වැරැද්ද පැටවීමේ පක්ෂ භේදයකින් තොර ඉතිහාසයක්ම අපට තිබේ.

දැන් අපට ජේ ආර් පැරදවීමට සමත් නායකයෙකු හමුව තිබේ. මෙතුමන්ගේ චර්යාව දෙස බලන විට තමන් මහලොකු කෙරුමෙකැයි සිතා හුන් ජේ ආර් පවා ලජ්ජාවෙන් මුලූ ගැන්වෙනු ඇත. යූ ඇන් පී කාරයින් බොහෝ දෙනෙකුට තමන්ගේ වත්මන් නායකයාට වඩා ජනාධිපති තුමා හොඳ යයි පෙනී යාම ඒ අතින් අරුමයක් ද නොවේ.

Advertisements
Posted in: Uncategorized