විරුද්ධවාදීන්ට එරෙහිව එක පෙරමුණක සිටින සටන් වදින දකුණේ සේනා

Posted on January 19, 2009



මේ ලගදී අපගේ විරුවාණන් වූ විමල් වීරවංශ ඇමරිකන් තනාපතිට ඇට්ටි හැලෙන්නට දුන්නේ ය. ආයිත් නම් ඔහු ලංකාවේ ඉන්න තාක් කටක් අරින එකක් නැත.

පහු ගිය දාක අපගේ අගමැතිතුමාද ඊට සමාන වීරකමක් කළේ ය. ඒ ඉන්දියාවට කණේ ඇගිලි ගහගන්නට කීමෙනි. ප‍්‍රභාකරන් ඉල්ලන්නේ ගෑනු ළමයෙක් කියලා හිතලා දැයි එතුමා කොචොක් එකක් ද දැමුවේ ය. ගෑණු ලමයෙකුගේ නම් අතපත ගාන්නට වත් දෙයක් ඇතැයි ද කියමින් එයින් නොනැවතී එතුමා ඉන්දියාවට ඔලොක්කුවක් ද දැම්මේ ය. ලජ් ජාවක් ඇති මිනිහෙක් නම් ඉන්දීය විදේශ ඇමතිතුමා මින් ඉදිරියට  ඕනෑ නැති ඒවා ඉල්ලා කරදර කරන්නට එන එකක් නැත. ඇත්තටම කියනවා නම් අපේ අගමැති තුමාගේ අදහස අපේ කොල්ලන්ට අච්චාරු දාන්න ප‍්‍රභාකරන්ව ඉතිරි කරදීමය.

ඒ අතරතුරේ අපගේ ජනාධිපති තුමා ද චණ්ඩි පාට් එකක් දැම්මේ ය. ඒ මියගිය ලසන්තට ය. එතුමා ලසන්ත හඳුන්වාදුන්නේ තමන්ට කේලම් සැපයූ මූලාශ‍්‍රයක් ලෙසිනි. ගැහුවාට නොව මැරුවාට ද වඩා එය දරුණු විය. මියගිය ලසන්ත සිය මිනී පෙට්ටියේ සිට ලජ්ජාවෙන් ඇඹරුණි.

ගෝඨාභය රාජපක්ෂ ද ඇරියේ නැත. එතුමා කුමන්ත‍්‍රණකරුවන් හිරේ අරින බව කීවේ ය. සමහරු නම් කියන්නේ අධිකරණයත් දැන් එතුමා ගේ සාක්කුවේ ඇතැයි කියා ය.

එතුමන් සියලූ දෙනාගේ ගෝලබාලයෝ ද කුණු බ්ලොග් අස්සේ ද විරුද්ධ කාරයින් සොයති. ඒ නැති වෙන්නට දෙන්න ය.

චණ්ඩි පාට්වල ඉවරයක් නැත. ඒ වායින් ලොකු ගැම්මක් අපට ද ඇතිව තිබේ.

එක් අතකට අපේ විරුවන් උතුරේ ප‍්‍රභාකරන් බලාගන්නා අතරේ මේ චණ්ඩි ටික දකූණට පමණක් නොව ලෝකයට ම නෙලන්න පටන් ගෙන තිබීම නිසා විශාල උද්දාමයක් ද අපට ඇතිව තිබේ.

දැන් ඉතින් අපට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් වැඩක් නැත. පඩුපුල් ආසනය ඔහොම නෙවෙයි තවත් සීතල වුව ත් කමක් නැත. අප රැක ගන්නට කප්පරක් සෙනග දිවිපරදුවට තබා සටනට බැස ඇති හෙයිනි.

එහෙත් මට පොඩි කණගාටුවක් තිබේ. ඒ අගමැති තුමා ගැන ය. ඉන්දියාවට ගේමක් දෙන්නට හදන අගමැති තුමා ගැන ය. පිනක් දහමක් කරගෙන ඉන්නට  ඕනෑ කාලේ අනේ මේ මනුස්සයාට අප වෙනුවෙන් සටන් කරන්නට ද සිදුව ඇති බැවිනි.

හැබැයි හිතට දැනෙන සහනය නම් සුලූපටු නොවේ. ඒ අප ආරක්ෂා කරන්නට මෙතරම් චණ්ඩි දිවා රැ නොබලා සටන් කරමින් සිටින නිසා ය. දැන් ඉතින් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට වුව බිය විය යුතු නැත. ඒ නිසා පෙර මෙන් නොව දැන් හිතේ බයක් හැකක් නැතිව නිදා ගත හැකි ය.

Advertisements
Posted in: Uncategorized