එන්ජීඕවලින් පඩි ලබන ඩොලර් කාක්කෙකුගේ අදහසක් නොවේ..

Posted on January 16, 2009



“නිදර්ශනයක් වශයෙන් ගෙවල් ගිනි තබන්නන් විසින් මහජන ගොඩනැගිලි විනාශ කළ විට පොලිසීය සහ අධිකරණය විසින් නියම වරදකරුවා අනාවරණය කරගැනීමට උත්සහ දැරිය යුතු යයි ලිබරල්වාදීහු සිතති. එහෙත් නීරෝ මෙන් නූතන අදහස් ඇති මිනිසා පිළිගන්නේ සකස් කළ සාක්ෂි මගින් වරද තමන් අකැමති කවර පක්ෂයකට හෝ ආරෝපනය කළ යුතු බව ය. කථා කිරීමේ නිදහස වැනි දේ සම්බන්ධයෙන් ශාන්ත ඇම්බ්‍රෝස්ගේ මෙන් මේ අයගේ ද අදහස වන්නේ ස්වකීය පක්ෂයට එය තිබිය යුතු බවත් එහෙත් අන් කිසිවෙකුට එහි අයිතිය නොතිබිය යුතු බවත් ය”.

ඉහත උපුටා දැක්වූයේ එන්ජීඕවලින් පඩි ලබන ඩොලර් කාක්කෙකුගේ අදහසක් නොවේ. මහා ප‍්‍රාඥ බර්ට‍්‍රන්ඞ් රසල්ගේ අදහසකි. එය උපුටා ගනු ලැබුවේ විමලසේන විතාන පතිරණ විසින් පරිවර්තනය කරන ලද ගොඩගේ සහෝදරයන් විසින් ප‍්‍රකාශයට පත් කරන්නට යෙදුණු බර්ට‍්‍රන්ඞ් රසල්ගේ “බලය” යන පොතේ 129 හා 130 පිටු වලිනි. මුල් පොත ප‍්‍රකාශයට පත්ව ඇත්තේ 1938 තරම් ඈතදී ය.

කිසිවෙකුට අද ලංකාවේ සිදුවන දේ තේරුම් ගැනීමට අවශ්‍ය නම් කියවිය යුතු හොඳම පොතක් වන්නේ මේ ප‍්‍රකාශනයයි. අප එසේ කියන්නේ ගොඩගේ සහෝදරයන්ගෙන් පඩි ලබන කෙනෙක් යයි හංවඩු ගහනු ලැබීමට සූදානමෙනි. ගසා තිබෙන හංවඩුවල හැටියට එවැනි හංවඩුවක් අමතක කර දැමිය හැකි සුලූ කාරණයකි.

අද ශී‍්‍ර ලංකාවේ සිදුවන දෙයට සමාන්තර බොහෝ සංසිද්ධි මේ පොතෙහි විස්තර කර තිබේ. මා එයින් තවත් එකක් පමණක් මෙහි දක්වන්නම්.

“බලය තමන් අතෙහි රඳවාගෙන සිටින පුද්ගලයින් විශ්වාසයට බලපෑම් කිරීමේ සමත්කම තමන් වෙත ලගාකර ගත්තේ එය නැවත නැවත ප‍්‍රකාශ කිරීමේ ශක්තිය තුළිනි. නිල ප‍්‍රචාරක ක‍්‍රම තුළ පැරණි හා නව ස්වරූප තිබේ. රජය ශතවර්ශ ගණනාවක් තිස්සේ ඇතැම් ප‍්‍රචාරක ක‍්‍රම උපයෝගී කරගෙන ඇත. කාසිවල රජතුමාගේ ශීර්ෂ සටහන් කිරීම, ඔටුනු පැළඳවීම [දැයට කිරුළ හා එහි අන්තර්ගත විභූතිය- ඒ කෑල්ල beyondframe ගේ ය], ජුබිලි මංගල්ල, පාබල හා නාවික හමුදාවන්හි විභූතිමත් දර්ශන ආදිය මේ සම්බන්ධ නිදර්ශන ය…. අමරණීය ආත්මය, තමන් උපන් ජාතියේ ශ්‍රේෂ්ඨත්වය වැනි පුද්ගලයා විසින් අගය කරනු ලබන කිසියම් දෙයක් හා ප‍්‍රචාරය සුසංවාදී වූ විට ප‍්‍රචාරය සාර්ථකත්වයට පත්වේ.” (පිටු 155 හා 156)

මෙය හඳුන්වා දුන් නිසා පතිරණ මහත්මයා හෝ ගොඩගේ මහත්මයා සමග වෛර බැඳගැනීමට අවශ්‍ය නැත. හේතුව මෙහි ප‍්‍රකාශණ වර්ෂය 2001 වීම ය. එතකොට මේ ආණ්ඩුව හා සනුහරය බලයට පත් වෙන්න හිතලාත් නැත.

බර්ට‍්‍රන්ඞ් රසල් ලංකාව දිහා බලාගෙන ලිව්වාක් මෙන් ලියා ඇති මේ විස්තරය බලයෙන් මත්වන ඕනෑම පාලකයෙකු පිළිබඳව කරනු ලබන පොදු විස්තරයකි. එය කොතරම් අපූරු රචනයක් ද යනු කියවලාම බලන ලෙස අපි ඔබට ආරාධනා කරමු.

රටේ ලෝකයේ තතු දන්නා මිනිසුන් අතින් වැරදි සිදුවීමට ඇති ඉඩ අඩු ය. ඒ නිසාම මෙවැනි පොතත් කියවීම හොඳ ය.

Advertisements
Posted in: Uncategorized