අපට ඇත්තේ වාර්ගික ප‍්‍රශ්නයක් ද ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් ද එසේත් නැතිනම් ආර්ථික ප‍්‍රශ්නයක් ද?

Posted on January 15, 2009



ලංකාවේ තිබෙන ප‍්‍රශ්නය ජනවාර්ගික ප‍්‍රශ්නයක් ද නැත්නම් ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් ද යන්න දිගු කලක් තිස්සේ විවාදයට බඳුන් වෙමින් තිබෙන්නකි. මෙයට අලූත් මානයක් එක් කරමින් අපේ සහෝදර බ්ලොග් කරුවෙක් (My notion – මේ මගේ මතය) කියා ඇත්තේ මේ දෙකම නොව ඇත්තේ ආර්ථික ප‍්‍රශ්නයක් බව ය.

ඇත්තටම ලංකාවේ පවතින ප‍්‍රශ්න ය කුමක් ද? එක් පැත්තකින් එය ආර්ථික යයි ද අනෙත් පැත්තෙන් එය වාර්ගික යයි ද තවත් පැත්තකින් එය දේශපාලනික යයි ද තවත් පැත්තකින් එය ත‍්‍රස්තවාදී යයි ද කිව හැකිය.

ප‍්‍රශ්නය විසඳිය හැක්කේ මෙහි බහුවිධ පැති කඩ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් මිසක ඒ සියලූ පැති කඩ එකකට ලඝු කිරීමෙන් නොවේ.

අපට තිබෙන ප‍්‍රශ්නය වග උත්තර කරුවෙකු කිරීම සඳහා අප එකම එක ප‍්‍රමුඛ සාධකයක් සෙවීම ය. ඒ තුළ අනෙත්වා සගවා තැබීම ය. මේ එක් එක් සාධකය අනෙත්වා මත ප‍්‍රතික‍්‍රියා කරමින් ඒවා ද අවුලූවයි. වැරදි දේශපාලනය ජනවාර්ගික ප‍්‍රශ්නය අවුලූවන අතර එයම ත‍්‍රස්තවාදය ට මං සලසයි. ත‍්‍රස්තවාදය ආර්ථිකය විනාශ කරන අතර දේශපාලනය නිර්ප‍්‍රජාතන්ත‍්‍රීකරණයට ලක් කරයි. දුර්වල ආර්ථකය වාර්ගික අර්බුදය උත්සන්න කරන අතර දේශපාලනය නන්නාත්තාර කරයි.

මේවා එකිනෙක කොතෙක් පැටලී ඇත් දැයි කීවොත් එකක් අනෙකෙන් වෙන් කිරීම අපහසු වෙයි.

ලංකාවේ ප‍්‍රශ්නය අඳුනා ගැනීමේ මග ඇත්තේ එහි එක් පැති කඩක් තරයේ අල්වා ගෙන අනෙත්වාට පිටුපස හැරවීමෙන් නම් නොවේ. එවැනි උත්සහයකින් කළ හැක්කේ අප කැමති මත වාදයකට කඬේ යාමට මං පාදා ගැනීම පමණකි.

ප‍්‍රශ්නය විසඳන්නට නම් ප‍්‍රශ්නයේ සියලූ පැති කඩ දැකීමට අප සමත් විය යුතු ය. අපට නැත්තේ ද ඒ ගුණය මය.

Advertisements
Posted in: Uncategorized