රතිඤ්ඤ ජාතික කර්මාන්තයක් ලෙස … ඔබේ අදහස් අවශ්‍යව තිබේ

Posted on January 14, 2009



කුඩා ළමෝ රතිඤ්ඤ පත්තු කිරීමෙන් අතිශය වින්දනයක් ලබති. දැන් දැන් වැඩිහිටියෝද එයින් සමාන වින්දනයක් ලබන බව පෙනෙන්ට තිබේ.

මේ තත්වය දිනෙන් දින වඩාත් තීව‍්‍රවන්නට ඉඩ තිබේ මේ වර්ධනය වන ප‍්‍රවනතාවය නිසා මට අපූරු අදහසක් පහල විය.

දිනෙන් දින අගාධයට යන අපේ ආර්ථිකය නැංවීමට මේ හදිසියේ උද්ගත වූ රතිඤ්ඤ ගැන වූ ඉල්ලූම භාවිතා කළ හැකි ය යන්න ය.

එපමණක් නොවේ ඉහල යන ඉල්ලූම අනුව සැපයීම ප‍්‍රමාණවත් නොවීම නිසා ඉදිරියේදී උද්ගත විය හැකිව තිබෙන රතිඤ්ඤ හිගයට පවා මෙයින් විසඳුම් ලබා දිය හැකි ය.

මා යෝජනා කරන්නේ රතිඤ්ඤ ජාතික කර්මාන්තයක් ලෙස ප‍්‍රකාශයට පත් කොට ඊට රාජ්‍ය අනුග‍්‍රහය දැක්විය යුතු බව ය. ඊට අමතරව ජාතික වශයෙන් වැදගත් ජයග‍්‍රහණ ලබන හැම විටම පාහේ රතිඤ්ඤ පත්තු කිරීම රජයේ ආයතනවලට පමණක් නොව පෞද්ගලික ආයතනවලට ද අනිවාර්ය කළ හැකි ය. එසේ නොකරන ආයතනවලට සිරසට සිදුවූ දේ වෙන්නට ඉඩ ඇති බව මතක් කර දිය හැකි ය.

ඇත්තටම රතිඤ්ඤ පත්තු කිරීමෙන් රණවිරුවන් ට ධෛර්යයත් වඩ වඩාත් ඉදිරියට යාමට ශක්තියත් ලැබෙන අතර අපට ද අපත් යුධ බිමේ සිටිනවාක් මෙන් දැනෙන නිසා ජාතියේ මුර දේවාතාවුන් සමග ඒකාත්මික වීමට ද එයින් අවස්ථාවක් ලැබේ.

ඉදිරියේ රතිඤ්ඤ පත්තු කිරීමට නියමිත සිද්ධින් අතර පහත සිද්ධීන් ප‍්‍රධාන ය.

1. ප‍්‍රභාකරන් බොට්ටුවක නැගී රටින් පැන යාම හෝ කුරුම්බැට්ටියක නැගී ගුවන් ගත වීම
2. ප‍්‍රභාකරන් විදේශයකදී ජාත්‍යයන්තරයේ සහය ද ඇතුව ගලග‍්‍රහණයෙන් අල්ලා ගැනීම
3. ප‍්‍රභාකරන් ඉන්දියාවට බාර දීම
4. ඉන්දියාවේ නඩු අසා ප‍්‍රභාකරන් එල්ලා මැරීම
5. පොට්ටු අම්මාන් දකුණේ දී අල්ලා ගැනීම
6. නඬේසන් කොටි නඩයක් සමග රජයට බාර වීම
7. මුලතිව් අල්ලා ගැනීම
8. ආණ්ඩුවට විරුද්ධව කුමන්ත‍්‍රණය කරන විරුද්ධ පාක්ෂිකයින් අල්ලා ගැනීම
9. රනිල් දේශපාලනයෙන් විශ‍්‍රාම යාම
10. ඒ 9 මාර්ගය ජනතා අයිතියට පැවරීම
11. අවසාන කොටියාගේ යටත් වීම
12. උතුරේ ජන්දයෙන් එක්සත් ජනතා නිදහස් සංවිධානයේ ආධාරය ලබන පොට්ටු අම්මාන් ජය ලැබීම
13. පොට්ටු අම්මාන්ගේ පදවි ප‍්‍රාප්තිය
14. නඬේසන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙකු ලෙස දිවුරුම් දීම

මේ සිද්ධි දාමයට තව බොහෝ දේ එකතු නොවෙතැයි අපට කිව හැකි ද?

රතිඤ්ඤ ජාතික කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය වෙනත් යෝජනා ඇතොත් ඔබට ද ඊට දායක විය හැකි ය

සියලූ භේද දුරලා රජයට සහය වීම මේ තීරණාත්මක මොහොතේ සියලූ රටවැසියන්ගේ යුතුකම බව අපි නැවත නැවතත් මතක් කරන අතර එසේ නොකරන අය ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ අරමුණ ඇතුව විරුද්ධ පක්ෂයේ මැරකල්ලි විසින් මරා දමනු ලැබීමට ඉඩ ඇති බවට ද අපි අනතුරු අගවමු.

Advertisements
Posted in: Uncategorized