සැබෑ බෞද්ධ මග Beyondframe අදහසක්

Posted on January 13, 2009



බුදුන් දෙසු දහම ප‍්‍රබල ය. එයට නැගී සිටීමට කාගේවත් මුක්කු අවශ්‍ය නැත. කාගේවත් අනුග‍්‍රහය අවශ්‍ය නැත. තම සසුන හෝ ආගම රැක දෙන්නැයි බුදුන් රජවරු පසු පස සිගමනේ ගියේ නැත්තේ එබැවිනි.

ඒ වෙනුවට සිදුවුයේ තමන්ගේ මග එලිය කරගැනීමට උවදෙස් දෙන්නැයි රජවරු බුදුන් මුන ගෑසීම ය.

බුද්ධාගමේ රැකවරණයට මුරකාවල් හෝ නීති රීති අවශ්‍ය නැත. මස් කඩ වසන්නටවත් රා තැබෑරුම් වසන්නටවත් අභිසාරිකා වෘත්තීය තහනම් කරන්නටවත් බුදුන් වහන්සේ රජවරුන් නොපෙළඹවූයේ එහෙයිනි. යම් යම් දේ තහනම් කරන ලෙස ඉල්ලා සත්‍යග‍්‍රහ කරන්නට හෝ පෙළපාලි යන්නට උවැසි උවැසියන්ට දේශනා නොකළේ එහෙයිනි.

ඒ වෙනුවට සිදුවූයේ රටේ සුචරිතය හා සමාදානය ඇතිකරනු සඳහා සදහම් දේශනා කරන්නැයි රජවරු බුදුන්ට ආරාධනා කිරීම ය.

තම දහම එක් ජාතියක එක් රටක බුත්තියට සවි කොට එය රැක ගන්නට බුදුන් කාටවත් බාර දුන්නේ නැත. මහාවංශයේ සඳහන් මනෝවිකාරය එය ලියු බුද්ධඝෝෂ හිමියන්ගේ විනා බුදුන්ගේ නම් විය නොහැකි ය. බුදුදහමෙහි සඳහන් වන්නේ ධර්මයටත් වත් අනවශ්‍ය ලෙස ඇලූම් නොකට යුතු බව ය.

බුදුන් ඒ වෙනුවට කීවේ ධර්මයේ හැසිරෙන්නා එය විසින් රකින බව ය. ධර්මය රැකීමට වෙනත් අයගේ පිළිසරණක් අවශ්‍ය නැති බව ය.

යුරෝපයේ වඩාත් වේගයෙන් පැතිර යන දහම බුදුදහම යයි වාර්ථාවේ. ඒ කිසිදු රජ කෙනෙකුගේ හෝ පාලකයෙකුගේ අනුග‍්‍රහය නැතිව ය. ජනතාව අවබෝධයෙන් එය වැළඳගැනීම හේතුවෙනි. එහි ධර්ම ප‍්‍රචාරක කටයුතු කෙරෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් නොවේ. සැදැහැවතුන්ගේ අනුග‍්‍රහයෙනි.

ඒ නිසා බුදුදහමේ සැබෑ ශක්තිය හඳුනන බෞද්ධයින් හැටියට අප කියන්නේ බුද්ධාගම ඊනියා “උරුමක්කාරයින්ගෙන්” හා “පොල්මක්කාරයින්ගෙන්” නිදහස් කරගෙන එහි සැබෑ අයිතිය ඇති සැදැහැවතුන් වෙත පැවරිය යුතු බව යි. බුද්ධාගමේ පරිහානිය නැවැත්විය හැක්කේ එසේ එය නිදහස් කරගැනීමෙන් පමණකි.

1. ආගම රජයෙන් වෙන් කරන්න (රජය යහපාලන මුලධර්මයන්ට අනුව රට පාලනය කරපුවාවේ ධර්මය දේශනා කිරීම හා ආගමේ අභිවෘද්ධිය ස්වාමීන්වහන්සේලාගේ හා සැදැහැවතුන්ගේ විශයයක් වූවාවේ)

2. ආගම පාසලින් වෙන් කරන්න (ගුරුවරු වෙනත් විශයයන් උගන්වපුවාවේ ධර්මය දේශනා කිරීම ස්වාමීන් වහන්සේලා විසින් පන්සලේ සිදු වුනාවේ)

3. ආගම විභාගයේ විශයයක් බවට පත් නොකරන්න (එය ජිවිතය එලිය කරගන්නා මාර්ගයක් වුනාවේ)

ධර්මය ජීවිතයට එලිය ගෙන දෙන මාර්ගයක් කර ගත හැක්කේත් පන්සල ආගමික මධ්‍යස්තානයක් ලෙස දියුණු කර ගත හැක්කේත් බුදු දහම පැතිරවිය හැක්කේත් එවැනි වෙන්වීමක් හරහා පමණකි.

එසේ නොකරන්නේ නම් ධර්මය විකූණන භාණ්ඩයක් බවට හෝ වේවැල් කෝටුවක් බවට පත්වීමෙන් වත්  පන්සල ටියුෂන් මඩුවක් හෝ පඩුරු පාක්කුඩම් පුදදෙන හුදු දේවාලයක් වීමෙන් වත් බුදු දහම කොඩියක් හා පෙරහැරක් බවට පත්වීමෙන්වත් වළක්වා ගන්නට බැරිය.

Advertisements
Posted in: Uncategorized