ලසන්ත දැයෙන් සමු ගත්තේ ය

Posted on January 13, 2009



කෘතවේදී මිනිසුන් ගණනාවකගේ සෝ සුසුම් මැද්දේ ද ලක්ෂ සංඛ්‍යත ජනතාවගේ අසංවේදීත්වය මැද්දේ ද ඔහු දැයෙන් සමු ගත්තේ ය.

විකල්ප මතයකට නොව විකල්ප කෙඳිරියක්වත් නැගීම භයානයකව ඇති රටකින් සමු ගත්තේ ය.

තමන්ගේ මතයට ප‍්‍රතිපක්ෂ මතයක් දැරීම තමන්ට එරෙහිව කරන කුමන්ත‍්‍රණයකැයි තේරුම් ගන්නා බියගුලූ මිනිසුන්ගෙන් සමු ගත්තේ ය.

බිය ජනක ඒකාධිපතිත්වයක් කරා අන්ධව ගමන් කරන රටකින් සමු ගත්තේ ය.

වැල යන අතට මැස්ස ගහන්නට සුදානම් මිනිසුන් සිටින රටක එසේ නොකිරීම කොතරම් දඩුවම් ලැබිය යුතු වරදක් දැයි සෙසු අයට පෙන්වමින් ඔහු සමු ගත්තේ ය.

might is right යයි කියන්නට ප‍්‍රතික්ෂේප කිරීමේ වරදට මරා දමන ලද සොක‍්‍රටීස් මෙන් ඊනියා නායකයින්ට අභියෝග කරමින් ඔහු ලෝකය හැර ගියේ ය.

ඔහුගේ අවමගුල පැවැත්වූ සඳුදා දින ඬේලි නිව්ස් පුවත්පත ඒ ගැන කතා කළේ නැත. ඒ ගැන මුදල් ගෙවා පළ කළ දැන්වීම නොවන්නට ඬේලිනිව්ස් පාඨකයින්ට අවමගුල ගැන දැනගන්නට ක‍්‍රමයක් තිබුනේ නැත.

එදිනම ආණ්ඩුව මාධ්‍ය මර්දනය පිළිබඳ පෝස්ටර් අලවමින් සිටි තරුණයින් දෙදෙනෙක් අල්ලා උසාවියට ඉදිරිපත් කළේ ය.

ඔහුගේ මරණයෙන් ප‍්‍රකට වූ පණිවුඩය මිනිසුන්ට දැනුනේ නැත. ඒ නිසාම ආණ්ඩුව දඩයම දිගටම කරගෙන යෑමට නියමිත ය. ඒ ලක්ෂණ ආණ්ඩුව හිරිකිතයක් නැතිව පෙන්වයි.

මාධ්‍ය මර්දනයට එරෙහිව පෝස්ටර් ඇලවීම හිරේ විලංගුවේ ලැබිය යුතු වරදක් නම් එවැනි රටක තව බොහෝ දණ්ඩනයන්ට මිනිසුන් යටත් වීමට සිදුවනු ඇත.

තවම පෙරහැර පටන් ගත්තා පමණකි.

ලසන්ත ඔබ ගිය මාවත හැරුණු කොට ඉතිරිව ඇත්තේ තවත් එක් මාවතක් පමණකි. ඒ වහලූන් මෙන් මේ හැත්ත වරිගයට නියාලූ වීමට ය.

Advertisements
Posted in: Uncategorized