අධෝවාතයකිනුදු සැලෙන බොල් පිළිම දේවාලය

Posted on January 12, 2009



සිදුව තිබෙන දේ බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට අමාරුය.

ඒ සතුරාගේ යුද බලකොටු එකිනෙක බිඳදමමින් ජයගොස නගන ජනපි‍්‍රයතාවයේ ඉහලටම නැග ඇති ආණ්ඩුවක් ඒ පැයේම තමන්ගේ අතින්ම සිය දිවි නහ ගන්නට හදන්න තනන්නේ මන් ද යන්න ය.

සිරසට එල්ල කරන ලද ප‍්‍රහාරය, ලසන්ත මරා දැමීම පමණක් නොව බීබීසි සංදේශයට අනියම් වාරණයක් දැමීම යන ත‍්‍රිත්ව කි‍්‍රයාම ආණ්ඩුවේ වැඩ ලෙස තේරුම් ගන්නට බොහෝ දෙනා පැකිලෙන්නේ ද ඒ නිසා ය.

මුල් කී කා කාරණා දෙකම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමෙන් නිදහස් වුව ද තෙවැන්න සම්බන්ධයෙන් එය මුණිවත රැක්කේ ය. එය අර තරම්ම ජනතාව සංවේදනයට පත් නොකරන්නේ යයි ආණ්ඩුව උපකල්පනය කළා විය යුතු ය. අනිත් අතට අනෙත් දෙකේම වගකීම කාට පැවරුවත් මෙහි වගකීම එසේ ලෙහෙසියෙන් වෙනත් කෙනෙකුට පැවරිය නොහැකි නිසා වන්නට ද පුලූවන. සමහර දෑ තේරුම් ගැනීමට කියන්නා කියන දෙය පිළිබඳව පමණක් නොව නොකියන දේ පිළිබඳව ද සෙවිල්ලෙන් සිටිය යුතු ය. බීබී සී ය ගැන මුණිවත රැකීමෙන් ආණ්ඩුව පෙන්වන බොහෝ දේ තිබේ. ඉතිරි ය කර ඇත්තේ කවුද යන්න ද ඉන් එකකි.

නමුත් ඒ තුන් ඈඳුනු කටයුත්තෙන් පෙනෙන්නේ බයේ ගැහෙන ආණ්ඩුවකි. එකිනෙකට සම්බන්ධවූ වුවමනාවකි. හැම දෙයක්ම කුමන්ත‍්‍රණ ලෙස දකින මුහුණ හෝදන බේසමේත් කිඹුලන් පෙනෙන ආණ්ඩුවකි. සගවා ගැනීමට බොහෝ ඇති ඒ නිසාම ඒවා කොයිවෙලේ නිරාවරණය වේ යයි බියෙන් පසුවන ආණ්ඩුවකි.

මාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ භිතිකාව අද ඊයේ ඇති වූවක් නොවේ. එයට ගොදුරු වූ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් බොහෝ ය. එහෙත් දැන් එය උග‍්‍ර වීමෙන් නොනැවතී උච්චත් වෙලාය.

පිටට මහා ප‍්‍රතිරූප ලෙස තිබෙතත් සමහර පිළිම ඇතුළතින් බොල් ය. මේ බොල් බව අනාවරණය වෙතැයි මර බියකින් අයිතිකාරයෝ පෙළෙති. වංචාවේ හා බොරුවේ සලූපිලි පුංචි හුළගකින් පවා ගසා ගෙන යා හැකි තරමට දුර්වල බව ඔවුහු දනිති. ඒ නිසා වාතයක් ගියත් ඔවුහු බිය වෙති.

ආණ්ඩුව යුද්ධයට දානවාටත් වැඩි බරක් මාධ්‍ය පාලනයටත් විපක්ෂය වාෂ්ප කිරීමටත් යොදවන්නේ මේ බිය නිසා ය. ඔබට මෙය සැබෑ ලෙස තේරුම් ගන්නට අවශ්‍ය නම් ඔවුන්ගේ ශරීර භාෂාවට සංවේදී විය යුතු ය. බොහෝ ඉරියවුවලින් පෙනෙන්නේ කර පිහ දාන පුහුල් හොරුන් ය.

Advertisements
Posted in: Uncategorized