එතුමා ලසන්තගේ කිට්ටු මිත‍්‍රයෙකි…පුහුල් හොරා කරෙන් දැනේ…

Posted on January 11, 2009



රාජපක්ෂ උතුමාණන් වරක් ලසන්ත වික‍්‍රමතුංග මහතාට කතා කොට එතුමාගේ අම්මා මතක් කළ බව ද ඒ නිසා එයින් පෙනෙන්නේ එතුමා ලසන්ත සමග වෛරයෙන් සිටි බව යැයි දැයි කෙනෙක් කියා තිබිණි.

රාජපක්ෂ උතුමාණන් දුරකථනයෙන් කතා කොට හිත මිතුරන්ගේ තොරතුරු විමසන කෙනෙකි. එහෙම වෙලාවක අම්මාව ද මතක් කරන්නට ඇත.

බ්ලොග් ලියන්නට පටන් ගත් පසු අපේ අම්මා මතක් කරන අය ද අඩවියට ගොඩ වදින අමුත්තන් අතර සිටිති. ඔවුන් ද තමන්ගේ නායකතුමන්ගෙන් හොඳ සිරිත් විරිත් ඉගෙනගෙන ඇතැයි මගේ වැටහීම විය.

ලසන්ත විසින් රාජපක්ෂ උතුමාණන්ට සිය මගුලට පවා ආරාධනා යැවූ බව ස්වාධීන රූපවාහිනිය කීවේ ඒ දෙන්නා අතර හොඳහිත පැවති බව කියන්නට ය. එවිට මට සිතුනේ ලසන්ත බඳින්නට ඇත්තේ ඊයේ පෙරේදා දවසක කියා ය. එහෙත් තවත් මාධ්‍යයක් කීවේ ඔහුට දරුවන් තිදෙනෙක් ඉන්නා බව ය. ඒ කියන්නේ ස්වාධීන රූපවාහිනිය කියන මිතු දම අද ඊයේ එකක් නොව පරණ කතාවක් බව ය.

මට ඇති පුදුමය නම් ඊට වඩා මෑතක අම්මා මතක් කළ උදාහරණය තිබිය දී සම්බන්ධයේ දිග පළල කියන්නට මීට දසක 2 ටත් පෙර සිදු කළ පැරණි ආරාධනාවක් ස්වාධීන රූපවාහිනියට ගන්නට සිදුවුනේ ඇයි ද කියා ය.

මෙයින් තේරුම් යන්නේ මහින්ද රාජපක්ෂ ලසන්තගේ ලගම හිතවතෙකු බවත් ලසන්තගේ අම්මා පවා හොඳින් දැන සිටි බවත් එහෙත් රාජපක්ෂ උතුමාණන්ගේ නම සුද්දකර දීමේ කොන්ත‍්‍රාත්තුව ගත් අය මෙය නොදැන සිටි අඳ බාලයින් බවත් ඒ නිසා ඔවුන් පැරණි උදාහරණ ගත් බවත් ය.

ස්වාධීන රූපවාහිනියට පොඞ්ඩක් වැරදුනා මිසක සංස්කෘතික සාරධර්ම ගැන හොඳ වැටහීමක් ඇති අපේ නායක තුමා නම් මේ ඝාතනයට සම්බන්ධ යයි ඒ නිසා සතුරෙකුටවත් කිව නොහැකි ය. අප පෙන්වා දුන් පරිදි එතුමා ලසන්තගේ කිට්ටු මිත‍්‍රයෙකි.

පුහුල් හොරා දැනෙන්නේ කරෙනි.

චිරං ජයතු!

Advertisements
Posted in: Uncategorized