තලේබාන් බුද්ධාගමට ජයවේවා

Posted on January 9, 2009



ඊයේත් බීබීසිය වාරණය විය. ලෝක ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් පසු කිසි දෙයක් කීමට බිබීසි යට ඉඩක් නොලැබුනු අතර මුලූ වැඩසටහන පුරාම සංගීතයක් වාදනය කෙරිණි. නියමිත කාලය ඉක්මගිය වහාම විකාශනය ප‍්‍රකෘති තත්වයට පත් කරනු ලැබු අතර සිදුවුයේ කුමක් ද යන්න පවා කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවී ය. රටේ බොහෝ අය මෙන්ම ගුවන් විදුලියේ අය ද කසාය බිවු ගොලූවන් මෙන් තමන්ගේ පාඩුවේ සුපුරුදු කටයුතු වල නිරතව සිටියහ.

දැන් ඉතින් වසන් කරන්නට දෙයක් නැත. සියල්ල එලියේ ය.

ඒත් ගාණක් නැත. සගවන්නට වුවමනාවක් ද නැත.

මේ සිද්ධියත් සමග මගේ මතකයට ආවේ සමහර මුස්ලිම් රටවලට බුද්ධ රූපයක් වත් ගෙන යන්නට කිසිවෙකුට ඉඩක් නැති බවට මා අසා ඇති කතාවය. තලේබාන්වරු එයිනුත් නොනැවතී උන්ගේ රටේ ඉදිකර තිබූ ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබූ බාහිමියන් බුදුරුව ද කඩා සමතලා කළෝ ය.

මේ සිද්ධි දෙක අතර සමානත්වය කුමක් දැයි බොහෝ දෙනාට අඳුනා ගත නොහැකි ය. එයට හේතුව තලේබාන් වරු මුස්ලිම් වීමත් මේ රටේ වැඩිදෙනෙක් සිංහල බෞද්ධවීමත් ය. අනෙත් එක තලේබාන් වරු සිය ආගම විනාශ කිරීමට මුලූ ලෝකයම කුමන්ත‍්‍රණය කරන්නේ යයි විශ්වාස කිරීමත් අපේ සිංහල බොෟද්ධයෝ මේ රට විනාශ කිරීමට අධිරාජ්‍යවාදීන් කුමන්ත‍්‍රණය කරන්නේ යැයි සිතීමත් ය.

ඒ වෙනස හැරුණු කොට අවස්ථා දෙකේම සිදුවන්නේ අනෙකුත් අදහස් ලබ්ධීන් ඉවසීමට ඇති නොකැමැත්ත ක‍්‍රියාවට නැගීම පමණකි.

දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ එයයි. තර්ජනයෙන් නොනැවතී ජිවිත බිලි ගැනීම දක්වා වැඩි දියුණුව ඇත්තේ එයයි.

ඒ නිසා අපට දැන් කීමට ඉතිරිව ඇත්තේ මෙපමණකි.

තලේබාන් බුදුදහම දිනේවා
තලේබාන් දේශපේ‍්‍රමය දිනේවා
සිංහල තලේබාන් වරුන්ට ජයවේවා

කපන්නට බැරි අත සිඹිය යුතු ය. කොතරම් දුගඳ හැමුවද ඒ දුගඳ ඉවසා දරා ගෙන මේ තලේබාන් යථාර්තය ඉඹින්නට ලෑස්ති වනවා හැරෙන්නට අපට විකල්පයක් ඉතිරිව නැතැයි රට අත යන බැලූ විට පෙනේ.

Advertisements
Posted in: Uncategorized