බුදුන්ගේ දේශයට දෙවියන්ගේ සරණයි

Posted on January 8, 2009



මේ රටට සුවිශේෂී අයිතියක් ඇති උරුමක්කාරයින් හා පොල්මක්කාරයින් සිටින බව පෙනෙන්නට තිබේ. මේ රට තුළ සෑම දෙයක්ම සිදුවිය යුත්තේ ඔවුන් සිතන හා පතන ආකාරයට ය. එයින් අඟලක් හෝ වෙනස්වීමට වෙන කාටවත් හැකියාවක් නැත. ඒ අය හිතන විදිහට වැඩ කරන්නට බැරි අය එලොව යා යුතු ය.

ප‍්‍රචාරය කරන්නට  ඕනෑ ප‍්‍රබුද්ධ ගීත පමණ ය. පෙන්වන්නට  ඕනැ සාරධර්ම ගෙඩි පිටින් ගිල්ලවන නාට්‍ය පමණ ය. විකාශනය කරන්නට  ඕනැ බුදු බණ පිරිත් හා ජාතික ගී පමණ ය.
ඒ නිසා සිරසට ගැසීම හරිය. ඒ ගැන කණගාටු විය යුතු නැත. බීබීසි ය ගොලූ කිරීම හරිය. එහි හිරිකිතයක් දැනවීමට හේතුවක් නැත. ලසන්ත වික‍්‍රමතුංග පරලොව යැවීම ද හරි ය (නැත්නම් වැරදි නැත හැබැයි පරලොව නොයවා වෙන දඩුවමක් දුන්නා නම් වඩා ශිෂ්ඨය කියන ටික දෙනෙක් ද මේ අතර වෙති).

තමන් හරි යයි සිතන දෙයක් වෙනුවෙන් පෙනී සිටීමට කෙනෙකුට ඇති අයිතිය ප‍්‍රශ්න කරන්නට කාටවත් බැරිය. එහෙත් අනෙකාට ද ඒ සඳහා තමන්ට මෙන්ම සමාන අයිතියක් ඇතැයි හිතන්නට අපට බැරිව ඇත්තේ මන් ද?

මම බයිලා රසිකයෙක් නොවෙමි. එහෙත් කෙනෙකුට බයිලාවක් ගයන්නට හෝ රස විඳින්නට අවශ්‍ය නම් එහි වැරුද්දක් මට පෙනෙන්නේ නැත. මම සන්ඬේ ලීඩර් පත‍්‍රය කිසි දිනෙක මිලට ගෙන බලා නැත්තෙමි. එහෙත් සන්ඬේ ලීඩර් පත‍්‍රය බැලීමට කෙනෙකුට ඇති අයිතිය ප‍්‍රශ්න කිරීමට මම නොයමි. මම ජාතික රූපවාහිනියෙන් ප‍්‍රවෘත්ති බලන්නේ නැත. එහෙත් එසේ බැලීමට කෙනෙකුට ඇති අයිතියට මම ගරු කරමි.

බුදුන් වහන්සේ පවා දේශනා කළේ මිනිසුන් විවිධ හා විෂම බව ය.

එහෙත් අපේ අය හිතන්නේ ඒ ගොල්ලා ලග ඇති කෝවෙන් මකා අනෙත් අය හැදිය යුතු බව ය. මෙය කොතරම් පටු අමනෝඥ අදහසක් ද?

ඒ අදහස් වඩාත් ලග තලෙයිබාන් පාලනයට ය. බුදුන් වහන්සේ අනු දැන වදාළ ධර්මයට නම් නොවේ. එහෙත් කාට කියන්න ද? බුදුන්ගේ දේශයෙහි දිගට හරහට පැතිර යන්නේ මේ තලේබාන් මත වාදයේ දේශීය ස්වරූපයයි.

එය මහත් අභිරුචියෙන් මිනිසුන් විසින් වළඳමින් තිබේ.

බුදුන්ගේ දේශයට දෙවියන්ගේ සරණයි

Advertisements
Posted in: Uncategorized