අපි නොදරුවෝය… ඔන්න බබෝ බිල්ලෝ ඇවිත්…

Posted on January 7, 2009



මේ ආණ්ඩුව බොහෝ දේට අදක්ෂ නමුත් අඩුවශයෙන් කාරණා දෙකක් සම්බන්ධයෙන් අතිශයින් දක්ෂය. ඒ යුද්ධ කිරීමටත් යුද්ධයෙන් උපරිම ලාභය ගැනීමට ත් ය.

මා මේ කියන්නේ ප‍්‍රභා සමග කරන යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොවේ. ආණ්ඩුව කරන බොහෝ යුද්ධ සම්බන්ධයෙනි.

මැතකම උදාහරණය පන්නිපිටියේ දෙපානම කරන ලද යුද්ධයයි. සතුරාට පහර දීමෙන් නොනැවතී එහි වගකීම ද තමන්ගේ සෙසු සතුරන් පිටට පැටවීමට ආණ්ඩුව කටයුතු කළේ ය.

සිරසට පහර දී ඇත්තේ ආණ්ඩු විරෝධීන් ය. ඔවුන්ගේ අරමුණ රජය අපහසුතාවයට පත් කිරීම ය. මේවා ලජ්ජා නැතිව කීමට ඇති හැකියාවද සැබෑ හැකියාවකි.

ළගින් ළග මුරකපොලු දමා තියෙන කලෙක මෙසේ අවි ආයුධ ගෙන යාම ගැන ඇගිල්ල දිගු කළ හැක්කේ කණ්ඩායම් දෙකකට ය. එකක් සන්නද්ධ අංශ පාලනය කරණ ආණ්ඩුවට ය.  අනෙක සන්නද්ධ අංශ මායිම් නොකරන සියදිවිනසාගන්නන් ඇති එල්ටීටීයට ය. එසේ තිබියදී සිරසටම හෝ විපක්ෂයට මේ සම්බන්ධයෙන් ඇගිල්ල දිගු කළ හැක්කේ අප බබාලා ලෙස ආණ්ඩුවත් ඊට  කඬේ යන අයත් සළකන නිසා ය.

ඇත්තටමත් අපි බබාලා ය. ඒ නිසාම මෙය යස රගට කරගෙන යාමට ඔවුන්ට හැකි ව තිබේ.

වර්තමාන විපක්ෂයට මෙවැනි මෙහෙයුමක්වත් කරගන්නට හැකියයි යම් දෙයක් ගැන අව්‍යාජ අගැයීමක් කළ හැකි කිසිවෙක් විශ්වාස කරන්නේ නැත. එහෙත් ආණ්ඩුවටත් ඔවුන්ගේ ගෝලබාලයින්ටත් එය ඉර හඳ සේ විශ්වාස ය.

අපට කියන්නට ඇත්තේ ඔහොම යං ඔහොම යං කියා ය. බොරුවට වැඩි ආයුෂ නැත. එයින් ගොඩනගන්න හදන විජිතයට ද ඒ නිසාම බොහෝ ආයුෂ තිබෙන්නට බැරි ය. සක්විති ට වූ දෙයම දඩුවම් මුදලාලිට වූ දෙයම ගෝල්ඩන් කී එකට වූ දෙයම බොරුවෙන් තම විජිතයන් ගොඩනගන හැමෝටම සිදුවනු ඇත.

එයින් වඩාත්ම කෙළවෙනු ඇත්තේ ඒවායේ ආයෝජනය කළ උදවියට ය.

Advertisements
Posted in: Uncategorized