කිලිනොච්චියට මුවා වී ප‍්‍රතිවාදීන්ට නෙලීම

Posted on January 6, 2009



කිලිනොච්චි ජයග‍්‍රහණය තම ප‍්‍රතිවාදීන්ට නෙලීමට කදිම අවස්ථාවක් සපයා දී ඇතැයි කවරෙකු හෝ හිතන්නේ නම් ඒ ගැන අපට ඇත්තේ අනුකම්පාවකි. ජයග‍්‍රහණයේ වාසිය ඉක්මණින් සෝදාගැනීමේ හා දියකර හැරීමේ මාවතක් හැර එයින් වෙනත් මාවතක් නම් විවෘත වන්නේ නැති බැවිනි.

සිරසට නෙලීමෙන් පමණක් නොව නිලන්තගේ දින සටහන් නම් බ්ලොග් අඩවියේ පළව තිබූ ජාතික කැක්කුම හා බුලත් කහට යන බ්ලොග් සටහනෙන් ද පෙනී යන්නේ කිලිනොච්චි ජයග‍්‍රහණයේ හයිය පාවිච්චි කිරීමට විවිධ ආකාරයේ ගණන් කාරයින් ඉදිරිපත් වී ඇති බවකි.

හැබැයි මේ සිද්ධි දෙක එක ගොඩක දමන්නට ද බැරිය. බුලත් කහට වැපුරුවේ බොරු ගණන් කාරයෙක් වුව ද සිරසට නෙලූවේ ඇත්ත ගණන් කාරයින්ය. ඒ අය ආයුධ ගත් විධිමත් කණ්ඩායමකට අයිති ය. රටේ ලොකු තැන්වල ආශිර්වාදය නැතුව එවැනි ආයුධ සහිත කණ්ඩායම්වලට සැරිසැරීමේ ඉඩ අඩුය.

සමාජය තුළ පැවතිය යුත්තේ හා පැවතිය හැක්කේ එකම මතයකැයි සිතනඅමනයින් පිරිසක් සිටිති. මේ පෙන්වන්නේ ඒ අමනයින්ගේ හැසිරීම ය.

අප කුඩා කලවිශ්වාස කළ බොහෝ දෑ අපි තරුණ වියේ දී අත හැරියෙමු. තරුණ කල විශ්වාස කරන දෑ අප ජීවිතයේ තව තවත් ඉදිරියට යන විට අත් හැරීමට නියමිත ය.

ඒ නිසා ම අප දැන් විශ්වාස කරන දේ එකම හරි දේ යයි කීමට අපට බැරිය. එසේ කරන යමෙක් වෙත් නම් ඔහු සමාන කළ යුත්තේ අලූතින් කිසිවක් ඉගෙන ගත නොහැකි මල මිනියකට ය. අචේතනික වස්තුවකට ය.

කණගාටුව නම් අපි අතර වැඩිපුර සැරිසරන්නේ දැනටමත් මියගිය ඝනී භූත වූ එවැනි මිනිසුන් වීම ය. උන් අලූත් දේ නොතනන අතර වැඩිපුර කරන්නේ අනුන්ගේ හයියෙන් හොල්මන් කිරීම ය. මිනිසුන් බිය වැද්දීම ය.

Advertisements
Posted in: Uncategorized