කිලිනොච්චිය හරහා යන ගමනේ අවසානය

Posted on January 3, 2009



ජෝජ් බුෂ් ජනාධිපතතුමා ඊයේ පෙරේදා දිනක සපත්තු සංග‍්‍රහයක් ලැබුවේ වුවද එතුමා සංග‍්‍රාමයේ නම් දක්ෂයෙකි. මා එසේ කියන්නේ සපත්තු පහර වැළැක්වීමේ දී එතුමා විසින් පෙන්වන ලද දස්කම් නිසාම නොවේ. සදාම්ගේ “ග‍්‍රහණයෙන්” ඉරාකය බේරා ගැනීමේ “මානුෂික” යුද්ධය ඉතා කෙටි කලකින් ජය ගැනීමෙන් පෙන්වන ලද දස්කම් නිසා ය.

එතුමන් විසින් නායකත්වය දෙනු ලැබූ ඇමරිකාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදාව ඉරාකයේ මෙහෙයවන ලද මානුෂික යුද්ධයෙන් ඉරාක ජනතාව සදාම්ගේ ඒකාධිපති පාලනයෙන් මුදවා ගනු ලැබිණ. ඒ සඳහා ඇමරිකානු හමුදාවලට ගතවූයේ දින කිහිපයකි.

මාර්තු 20 දින ආරම්භවූ යුද්දයෙන් හරියටම දින 20 කට පසු එනම් අපි‍්‍රයෙල් 9 දා වනවිට බැග්ඩෑඞ් නගරයේ බලයත් දින 30 කට පසු එනම් මැයි 1 දා වනවිට මුලූ ඉරාකයමත් යටත් කර ගැනීමට බුෂ්ගේ හමුදා සමත් විය.

ඒ වසරේම දෙසැම්බර් 13 දා සදාම්ව සහ ඔහුගේ සහචරයින් රැල ගලග‍්‍රහණයෙන් අල්ලා ගනු ලැබූ අතර ඔවුන් නඩු අසා මරා දමන ලද්දේ ය.

එහෙත් ඇමරිකන් හමුදාවලට තමන් බලාපොරොත්තු වූ පාලනයක් ඉරාක භූමියේ ඇති කර ගැනීමට නොහැකි විය. එම මෙහෙයුමෙන් ඇති කළ ක‍්‍රියාවලියේ කූට ප‍්‍රාප්තිය වූයේ සෙරෙප්පුවකින් පහර කෑමට ලක් වීමත් ඒප හර දීම දෙස ආශ්වාදයෙන් බලා සිටින විශාල ජනතාවක් ගොඩ නැගීමට ඒ වනවිටත් ඉරාක යුද්ධය සමත්ව තිබීමත් ය.

මේ කාරණා මතක් කළේ කිලිනොච්චියේ ජයග‍්‍රශණයෙන් ගිනි කණ වැටී සිටින ජනතාවගේ ආශ්වාදයට ඇති ඉරිසියාවකින් නොවේ. ලැබූ ජයග‍්‍රහණයෙන් මත්ව විදීවලට බැස කි‍්‍රකට් තරගයක් ජයග‍්‍රහණය කළ කොල්ලන් මෙන් හැසිරෙනවාට වඩා බොහෝ දේ මෙවැනි යුද්ධයකදී කළ යුතුව ඇතැයි කියන්නටය.

අප වචනයෙන් ඒ බව පවසන්නටත් පෙර බෝම්බයකින් ඒ බව මතක් කර දෙනු ලැබී ය.
සමහරු වෙන රටවල අත්දැකීම්වලින් පාඩම් උගනිති. සෙසු අයට ඒ හැකියාව නැත. ඒ නිසා ඔවුන් පාඩම් ඉගෙන ගන්නේ තමන් විඳවීමෙන් පසු ය.

මේවා අහන්නට ඉස්පාසුවක් මෙවෙලේ ඇත්තේ ටික දෙනෙකුට පමණකි. ඒ නිසාම මේ සියල්ල නෙලූම් පතක නොරඳන වතුර මෙන් අපතේ යන බවත් අපි දනිමු. මක් නිසා ද යත් සවන් දෙන මානසිකත්වයක බොහෝ දෙනෙක් තුළ දකින්නට නැති නිසා ය.

ඒ නිසාම දැන් නොව අනාගතයේ යම් දිනක ඔවුන්ට බැලීමට මේ සටහන ලියා තැබීමට අප කැමති ය.

ඉරාකයේ ජනතාව සදාම්ගේ කෘර පාලනයෙන් මුදවා ගත් මානුෂික මෙහෙයුමක් දියත් කළ ඇමරිකන් හමුදාවට වූ දේ ශී‍්‍ර ලංකාවේ හමුදාවට නොවීමට නම් දෙමළ ජනතාවගේ සාධාරණ අයිතීන් ගැන දකුණ සංවේදී විය යුතු ය. එහෙත් කණගාටුව නම් කිසියම් හෝ කුඩා සංවේදයක් තිබුණා නම් යුද්ධ ජයග‍්‍රහණයේ උණුසුම විසින් එය ද දියකර දමා තිබීම ය.

Advertisements
Posted in: Uncategorized