කිලිනොච්චිය අද අල්ලනවාලූ! උඹට දුක ද? සතුටු ද?

Posted on January 2, 2009



කිලිනොච්චිය අද අල්ලන බව යුදහමුදාපති ප‍්‍රකාෂ කළ බව නෙත් එෆ් එම් ගුවන් විදුලිය සිය උදෑසන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් කියා සිටියේ ය.

මා සමග මෙයට සවන් දෙමින් සිටි මගේ මිතුරා සතුටට පත්ව මගේ මුහුණ හොඳින් බලා උඹට සතුටු නැත්දැයි ඇසීය.

මට සතුටුයි. හැබැයි උඹ සතුටුවුන හේතුව නිසා නම් නෙවෙයි. දේශපාලන න්‍යාය පත‍්‍රයක් ඉටුකරගැනීම වෙනුවෙන් බිලිදීමට සූදානම් කරල තියෙන තරුණ ජීවිත ටිකක් මේක නිසා බේරෙන එක ගැනයි මගේ සතුට.

උඹට දුක නැත් ද? උඹ ලියන ඒවා බැලූවහම මට හිතුනෙ උඹට මේ ගැන සතුටු වෙන්න බැරි වෙයි කියල.

මට ඇත්තටම දුකයි ඒත් ඒ උඹ හිතන දේ නිසා නෙවෙයි.

කිලිනොච්චිය අල්ලල ආණ්ඩුවට කොචොක් කරන්න මට බැරි වෙන්න පුලූවන්. හැබැයි තව බොහෝ දේ කොචොක් කරන්න තවදුරටත් ඉතිරිවේවි. අනිත් අතට කොචොක් කරන්න මුකුත්ම නැත්තං ඒත් හොඳයි. ඒකෙන් තේරුම් යන්නේ රටම හරි ගිහිල්ල කියලනෙ. මගෙ බලාපොරොත්තුවත් ඒක. මේ බැටේ දෙන්නෙත් ඒ සඳහානෙ.

අනෙත් අතට මේ කෙහෙල්මල් බ්ලොග් එකවත් මගේ ප‍්‍රතිරූපයවත් මට ලොකු දේවල් නෙවෙයි. මං ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ. ඉල්ලූවත් හම්බුවෙන්නෙ නැති බවත් මං දන්නව. ඒ නිසා කිලිනොච්චිය සම්බන්ධයෙන් මට ඇතිවන දුක මං ලියන ඒවත් එක්ක සම්බන්ධයක් නැහැ. මට දුක මේකයි.

යුද්ධය කවුද හරි කියල තීරණය කරන්නෙ නැහැ. තීරණය කරන්නෙ කවුද ඉතුරු වෙන්නෙ කියල විතරයි. යුද්ධයේ මේ යතාර්ථය යුද්ධයේ ජයග‍්‍රහණයෙන් අන්ධව හෙට වීදී බැහීමට ඉන්න ජනතාවට පේන්නෙ නැහැ. මට දුක ඒකයි.

Advertisements
Posted in: Uncategorized