අපට උරුම අපේ උරුමය

Posted on January 1, 2009



රජයේ සේවයේ ජනගහණයෙන් සියයට 6ක් ඉන්නා බවත් එම ප‍්‍රතිශතය ඉන්දියාවේ සියයට 2ක් නිසා ලංකාවේ රජයේ සේවය ඉන්දියාවේ මෙන් තුන් ගුණයක් බවත් මම කලින් බ්ලොග් සටහනකට ලීවෙමි.

මෙය දුටු මිත‍්‍රයෙක් මේ ගැන අපූරු අදහසක් පළ කළේ ය.

ආණ්ඩුව රජයේ සේවකයින්ට පඩි ගෙවනවාක් මෙන් පෙන්වන අතර රජයේ සේවකයෝ වැඩකරනවාක් මෙන් පෙන්වති. ඇත්තටම නම් ආණ්ඩුව නියම පඩියක් ගෙවන්නේවත් රජයේ සේවකයින් වැඩ කරන්නේවත් නැත.

මෙය සියලූ සේවකයින් සම්බන්ධයෙන් අදාළ නොවෙතත් බොහෝ දෙනා සම්බන්ධයෙන් අදාළ ය. ඒ අනුව දෙපැත්තම කරන්නේ අනෙත් පැත්ත රැවටීම ය.

අවසානයේ රැවටෙන්නේ හැම භාණ්ඩයකටම බදු ගෙවන ජනතාව ය. එයට රජයේ සේවකයින් ද අයත් ය. ඔවුන්ගේ නෑදෑ මිත‍්‍රයන් ද අයත් ය. ඒ නිසා ද රවටනු ලබන්නන් ද රවටන්නන් ද එකම පිරිසකට අයත් ය.

තමන්ගේ වලිගය අනුභව කරන සර්පයකුගේ රූපය මවා ගැනීම මේ කි‍්‍රයාවලිය තේරුම් ගැනීමට ඇති පහසුම ක‍්‍රමයයි.

අනුන් රැවටීමට ඇති සූදානම හා රවටනු ලැබීමට කැමැත්තෙන් යටත්වීම යන දෙකම අපට උරුම අපේ උරුමයන් ය. එය අප විසින් නොයෙක් ආකාරවලින් ඔප්පු කර තිබේ.

රවටන්නට හා කැමැත්තෙන් රැවටීමට මේ වසරේත් ලෑස්ති වෙමු. උරුමය රැක ගැනීම උදෙසා එය කළ යුතුව තිබේ.

Advertisements
Posted in: Uncategorized