පාලු ගෙයි වළං බිඳීම

Posted on December 25, 2008



කරුණා අම්මාන් පිල්ලෙයාන් ඩග්ලස් දේවානන්ද වැනි කීකරු පූස් පැටියන් ද තිස්ස විතාරණ ඩියු ගුණසේකර වැනි රතු සහෝදරයන් ද නිව්රාඞ් කබ්රාල් වැනි හීලෑ ගෝලයන් ද තවත් අවශේෂ ඇමැත්තන් සමූහයක් ද ඇතුළත් තම ගෝල බාලයින් පිරිවරාගත් ජනාධිපති තුමා ඇට්ටි හැලෙන්න දුන්නේ ය.

සංවර්ධනය රැකියා සැපයීම පඩිවැඩි කිරීම පමණක් නොව කිමී ක මාර්ගයක් පිළිසකර කිරීමක්වත් පසු ගිය කාලය තුළ සිදු නොවූ බවත් සියල්ල යුද්ධය නිසා කළ නොහැකියයි කියා කලින් සිටි පාලකයින් කල් දැමූ බවත් තමා ඒ එකක්වත් අඩුපාඩු නැතිව කළ බවත් එතුමා මහත් උජාරුවෙන් ගෝල බාලයන් හමුවේ ප‍්‍රකාශ කළේ ය.

මේ සිනමා කෘතිය දැක ගත හැකි වුයේ ස්වාධීනත්වය පාවා දී ඇති ස්වාධීන රූපවාහිනිය ඔස්සේ දෙසැ 24 රාති‍්‍රයේ ය. මා සිනමා කෘතියක් යයි කීවේ මේ කතාවට පසුබිම් සේයා පට ඉදිරිපත් කරමින් විශේෂ වර්ණවත් කිරීමක් කර තිබූ නිසාවෙනි.

පඩිවැඩි කිරීමට නොහැක්කේ යුද්ධය නිසා යයි වැඩවර්ජනය කළ ජවිපෙ වෘත්තිය සමිතිවලට රජය කීවේ ගිය වසරේ දී ය. පෙට‍්‍රල් අඩුකරන්නට බැරිව ඇත්තේ යුද්ධය නිසා යයි ආණ්ඩුව කියා කටගත්තේ ඊයේ පෙරේදා ය. යුද්ධයේ නාමයෙන් ආණ්ඩුවට එන හැම විරෝධයක්ම දේශද්‍රෝහී වූයේ ද වැඩිපුරමත් මේ ආණ්ඩුවේ ආගමනයෙන් පසුය. මේ උජාරු කතාව කරන ලද්දේ මේ සියල්ල එසේ වෙද්දීය. එහෙත් ඒවා අසන්නේ කාගෙන් ද කවුරුන් ද?

මේ ආණ්ඩුවේ රැකියා සැපයීම ද ඇතුලූ ආර්ථිකය මෙහෙයවීමේ කටයුත්ත ගැන ඊලග බ්ලොග් සටහනේ විස්තර සැපයීමට අපි අපේක්ෂා කරමු. වැඩිවන උද්ධමනය හමුවේ වැඩිවූ පඩියට වූයේ කුමක් දැයි පඩි ගන්නා අය දන්නා නිසා ඒ ගැන කතා කිරීම පවා අවශ්‍ය නැත. හම්බන්තොට පැත්තේ පාරවල් හැරුණුකොට මේ ආණ්ඩුවේ මාර්ග පිළිසකර කිරීම ද මාර්ගවල සැරිසරන අයට අමුතුවෙන් කියා දිය යුතු නැත.

තමන්ගේ ගෝල බාලයින් ඉදිරිපිට ඒ බව කණපිට හරවන විට අපට මතක් වූයේ පාලූ ගෙයි වළං බිඳීමේ කතාව ය. හීලෑ සිංහයින් ඉස්සරහ වැඩ පෙන්වන සර්කස් කරුවාගේ භූමිකාව ය.

සභාවේ සිටි අය සතුව සපත්තු නොතිබුනා නොවේ. ඔවුන් සතුව ඒවා එසවීමට තරම් ආත්ම ශක්තියක් නොතිබුනා පමණකි. ඒ සියල්ලෝ හීලෑ සත්තු ය. අපේ ජනාධිපති වළං බින්දේ මේ පාලූ ගෙයි සිටගෙන ය.

Advertisements
Posted in: Uncategorized