අප පින් කළ බව දැනෙන්නේ දැන් ය

Posted on December 25, 2008



රජයේ සේවකයින්ගේ ගණන ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 6 කි. හැම 16 දෙනෙකුගෙන් කෙනෙකුම රජයේ සේවකයෙකි. ඉන්දියාවේ රාජ්‍ය අංශයේ ප‍්‍රතිශතය ජනගහණයෙන් සියයට 2 කි. එයින් කියවෙන්නේ අපේ රාජ්‍ය අංශය ඉන්දියාවේ මෙන් තුන් ගුණයක් වන බව ය.

අපේ උද්ධමනය ද ඉන්දියාවේ උද්ධමනය මෙන් තුන් ගුණයක්ව පැවතිණි. සමීකරණය හරිය. එකක් තුන් ගුණයකින් වැඩිවන විට අනෙකත් ඒ සමාන ගුණයකින් වැඩිවිය යුතු ය.

එහෙත් රාජ්‍ය අංශයට බඳවා ගැනීමේ අඩුවක් ද සිදුව නැත්තේ ය. ළගදී ග‍්‍රාම නිලධාරි සේවයට ද සැලසුම් සේවය ට පරිපාලන සේවයට හා ගණකාධිකාරී සේවයට ද බඳවා ගනු ලැබුයේ සිය ගණන් බැගිනි.

නිලධාරීන් ඇතත් ඔවුන්ට වැඩ කිරීමට ප‍්‍රතිපාදන නැත. පටන්ගෙන නැති කිසිවක් පටන් නොගන්නා ලෙසත් කිසිදෙයකට තවදුරටත් මුදල් නොයොදන ලෙසත් චක‍්‍රලේඛනයක් ආවේ රාජ්‍ය අංශය වඩාත් සක‍්‍රීය වන නොවැම්බර් දෙසැම්බර් කාලයට මත්තෙනි. ඒ නිසා බඳවා ගන්නා අයට ද සිදුවන්නේ දැනටමත් නිකම් ඉන්නා ගොඩට එක් වීමට ය. එහෙත් බඳවා ගැනීම්වල අඩුවක් නැත.

සමහරු විශ්වාස කරන්නේ ගණනින් වැඩිවූ විට සියල්ල හරියන බව ය. ජාතිය දියුණු කිරිමට පැටව් ගස්සනවාක් මෙන් රාජ්‍ය අංශය දියුණු කළ හැක්කේ වැඩි වැඩියෙන් බඳවා ගැනීමෙන් බව ඔවුන්ගේ විශ්වාසයයි.

තිබෙන ණය ගෙවා ගැනීමට තවත් ණය ගැනීමට සිදුව ඇති ආණ්ඩුවක් මෙසේ දිගටම පිස්සු කෙළින්නේ කෙසේ දැයි කෙනෙකුට පුදුම හිතෙන තරම් ය. ශී‍්‍ර ලංකාව ණය කරුවෙක් හැටියට සැළකීමේ දී ප‍්‍රවේශම් විය යුතු බව ණය දෙන්නන්ට දැනුම් දීමට ණය ඉල්ලන අය ගැන පැටිකිරියක් ලබා දෙන එස් ඇන්ඞ් පී ආයතනය කටයුතු කළේ පියවර පහකින් අපේ රේට්ටුව පහළට දැමීමෙනි. ඒ අනුව දැන් ණය ගන්නට නම් අප විසින් අධික පොළියක් ගෙවන්නට නියමිත ය.

මැතිවරණ වර්ෂයක් ඉදිරියේ තබා ගෙන දෑත් බැඳ ගෙන සිටීමට ද ආණ්ඩුවට බැරි ය. එජාපය පරදින්නට එක් හේතුවක් වූයේ රාජ්‍ය අංශයේ රැකියා නොදීමට තීන්දු කිරීම බව සමහරුන්ගේ මතයයි. රස්සාවක්වත් ගන්නට බැරි පක්ෂයකට වැඩ කළ යුත්තේ ඇයි දැයි පාක්ෂිකයින් හිතුවා වන්නට පුලූවන. රාජපක්ෂ ආණ්ඩුව දිගට හරහට රැකියා දෙන්නේ ඒ මෝඩකම නොකිරීමට විය යුතු ය. රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ නාමයෙන් තමන්ට ශක්තිමත්වීමට හැකිනම් එය නොකරන මෝඩයා කවුරුද?

මේ තත්වය යටතේ දරුවන් උගස් තැබීමට ලෑස්ති වනවා හැරෙන්නට ජනතාවට කළ හැකි යමක් ඇතැයි මට පෙනෙන්නේ ද නැත. මට මතක් වෙන්නේ උගස් කරන්නට හැකි සියල්ල උගස් කර අවසානයේ සිය අඹු දරුවන් උගස් කළ සූදු අන්තුවාගේ කතාව ය.

වෙස්සන්තර රජු දරුවන් හා බිරිඳ දන් දුන්නේ ණයක් වත් ලබා ගෙන නොවේ. නිකම්ම ය. ඒ අතින් වර්ථමාන පාලකයින් බුද්ධිමත් ය. නිකම්ම අඹු දරුවන් දන් දීමට සූදානම් නැති ඔවුන්ගේ සූදානම උන් උගස් කිරිමට ය. ඒ උගස සමග ලැබෙන ණයෙන් තමන් බඩ පිරෙන්නට කන අතරේ හා සූදු කෙළින අතරේ අඹුවන්ට හා දරුවන්ටත් තව මාස කීපයක් තරමකට හෝ කා බී ජීවත්විය හැකි පරිසරයක් හදන්නට පවා ඔවුන් සූදානම් ය. ඒ අතින් ඔවුන් වෙස්සන්තරටත් වඩා කාරුණිකය. අප පින් කළ බව දැනෙන්නේ දැන් ය.

Advertisements
Posted in: Uncategorized