පොලිසියේ නව භූමිකාව

Posted on December 24, 2008



විහිලූ සපයන ආයතන අතර පොලීසියට හිමිවන්නේ වැදගත් තැනකි.

කන්ටේනරයක් පුරවා පුපුරණ ද්‍රව්‍ය කොළඹට පැමිණ ඇතැයි ද ඒ සමග නිල්පාට පික් අප් රථයක් ද ඇතැයි ද ඒවාට පුපුරණ ද්‍රව්‍ය පුරවනවා බලා සිටියාක් මෙන් හිටපු පොලිස්පති කෙනෙකු කීවේ විපක්ෂයේ ජනරැලියක් පැවැත්වීමට ලක් ලෑස්ති වී තිබියදී ය.

ශ්‍රේෂ්ඨාධිකරණය පෙට‍්‍රල් මිල අඩු කිරීමේ තීන්දුව දුන්  දින හවස පොලීසියේ විශේෂ ප‍්‍රකාශයකින් කීවේ ආණ්ඩුව පෙරලීමට කුමන්ත‍්‍රණයක් ඇතැයි පොලීසියට වාර්ථාවී ඇති නිසා පොලීසිය සීරුවෙන් තබා ඇති බව යි. ආණ්ඩු විරෝධියෙකුට ටිකක් හයියෙන් වාතයක් යන්නට ඇතැයි මෙය ඇසූ කෙනෙක් අප සමග පැවසුවේ ය.

කුමන්ත‍්‍රණය කළේ කවුද එය මැඩපැවැත්වූයේ කෙසේ ද යන්න දැනගැනීමට ජනතාව කැමති ය. කන්ටේනර් හා පික් අප් වලට වූ ඉරණමම කුමන්ත‍්‍රණයට ද අත්වූවා වන්නට පුලූවන. ඒවා ගැන ප‍්‍රශ්න කරන කෙනෙක් නැත. ඒ නිසා හෙට හෝ අනිද්දා ද තවත් එවන් විහිලූවකින් සංග‍්‍රහ කිරීමට පොලිසියට හැකි ය.

මෑතම විහිලූව පොලිස්පති තුමා ගෙනි. එතුමා පැමිණීමෙන් පසු අංක එකට අල්ලස් වලින් කප් ගැසූ පොලිසිය අංක දෙකට ගැනීමට එතුමන්ට හැකි වූ බව ය. ඒ සඳහා එතුමන් කළේ කුමක් දැයි එය පළ කළ පුවත් පත් වාර්ථාවේ තිබුනේ නැත. ජනතාව වඩාත් දැනගන්නට කැමති ඒ පියවර කවරේද කියාය යන වග එක්කෝ පොලිස්පති තුමා දැන සිටියේ නැත. නැත්නම් ඒ ගැන වාර්ථා කළ දිවයින පුවත් පත දැන සිටියේ නැත.

කෙනෙක් අංක දෙක වීමට ඔය කිවූ හේතුවලට අමතරව තවත් හේතු දෙකක් තිබේ. එකක් එසේ වූ එකාගේ බැරි කමය. නැත්නම් අංක එක වූ එකාගේ පුලූවන් කමය. මේවායින් කුමක් මීට හේතු වී දැයි අප දන්නේ නැත.

කොහොම වුනත් කුඩා කල අපට පාසලේදී පුරුදු කළ ඉලක්කම් විජ්ජාවට අනුව නම් මෙය ආඩම්බර විය හැකි කාරණයකි.

මා මගේ බ්ලොග් සටහන් කීපයකම සඳහන් කළ පරිදි අපට මොනවා නැතත් සතුටින් සිටිය හැකිව තිබේ. මාධ්‍ය වලින් ද වෙනත් සියලූ ආකාරවලින් ද අඩුවක් නැතිව විහිලූ සපයමින් තිබෙන නිසා ය. මෑතක සිට පොලිසිය පවා මේ සද්කාර්යයට අත ගසා ඇති නිසා ය.

Advertisements
Posted in: Uncategorized