රට කොයිබට ද?

Posted on December 23, 2008



මේ පිළිබඳ යම් හෝඩුවාවක් ඉගියක් පහුගියදා රග දෙන්නට පටන්ගත් තවමත් අවසන් නොවුනු තෙල් නාඩගමත් සමග අපට දැක ගත හැකි විය.

මා මේ කියන්නට යන්නේ රජයත් ශ්‍රේෂ්ඨාධිකරණයත් අතර තවමත් පවතින කඹ ඇදිල්ල ගැන නොවේ. ඒ කඹ ඇදිල්ල අස්සේ ෂෙඞ් කාරයින් ඇති කළ ආතතිය ගැන ද නොවේ. එය පෙට‍්‍රල් සොයා තැන තැන යාමට සිදු වූ සහ ලැබුණු විට ඒ වෙනුවෙන් පෝලිම් වල ලගින්නට වීමෙන් ජනගහණයෙන් එක් සීමිත කොටසකට ඇති වූ තාවකාලික ගැටලූව ගැන ද නොවේ.

රට කොයිබට ද යන ඉගිය ලැබෙන්නේ ඒ සම්බන්ධයෙන් රජය මාධ්‍ය ඇතුලූ සමාජය ඒ ගැන දැක්වූ ප‍්‍රතිචාරය නිසා ය.

මේ බහුවරණ ප‍්‍රශ්නපත‍්‍රයට උත්තර දීමට ඔබ ගන්නා උත්සහය හරහා ඔබටම ඒ පිළිබඳව වටහා ගත හැකි වනු ඇත.

පෙට‍්‍රල් ෂෙඞ්වල පෙට‍්‍රල් නැතිව ගියේ

1 ලෝක වෙළඳ පොලේ උග‍්‍ර තෙල් හිගයක් ඇතිවීම නිසා ය
2 ලෝක වෙළඳපොලට ගසා තිබුණු ප්ල්ග් එක විමල් වීරවංශ රජය සමග එකතුව ගලවා තිබූ නිසා ය
3 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සියලූ දෙනාම අන්ද මන්ද වූ නිසා ය
4 පෙට‍්‍රල් පාරිභෝජනය කරන ඉහළ පැලැන්තිය පෝලිම් වල රඳවා තැබීමෙන් හා රස්තියාදු කරවීමෙන් කාලකන්නි සතුටක් සෙසු ජනතාවට ලබා දිය හැකි නිසා ය
5 අලාභයකින් ගැලවීමට කටයුතු කිරීමේ මානව හිමිකමක් ෂෙඞ් කරුවන්ටත් ඇති නිසා ය
6 ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට රටේ පාලනය බාර දී ඇති නිසා ය
7 එජාපයට මොනම හෝ ජයක් ලබා දීම මේ යුගයේ දේශද්‍රෝහී වන නිසා ය
8 රටක් පාලනය කළ යුතු බව රජය නොදන්නා නිසා ය
9 ෂෙඞ් කාරයින් පාලනය කළ යුත්තේ කෙසේ දැයි පාලකයින්ට නොතේරෙන නිසා ය
10 ඉක්මණින් මේ ප‍්‍රශ්නය සමථයකට පත් කළේ නම් මාධ්‍ය කාරයින්ට මාතෘකා නැතිවන නිසා ය
11 රටේ ප‍්‍රධාන ආයතන දෙක අතර කඹ ඇදිල්ලක් ඇතැයි යන්න ජනතාවගෙන් වසන් කළ යුතුව තිබූ නිසාත් තෙල් හිගයක් ඇති කිරීම එයට වඩාත් ගැලපෙන මාවත වූ නිසාත් ය
12 හැමදාමත් යුද්ධයේ කතාම අහන ජනතාවට අලූත් ආරක කතාවක් සැපයිය යුතු නිසා ය
13 තෙල් ගහන්නේ රියැදුරන් නිසා ත් පාරේ වේගයෙන් යන නිසා ත් මෙහෙම ආරවුලක් තියෙන බව රට කරවන ඇත්තන්ට නොතේරුන නිසා ය
14 බොහෝ දෙයින් පීඩා විඳින මිනිසුන් ඉන්නා රටක පෝලිමේ ඉඳීම අලූත් අරුමයක් නොවන නිසා ය තියෙන ප‍්‍රශ්නවල හැටියට  ඕකත් ප‍්‍රශ්නයක් දැයි හිතුන නිසා ය
15 ෂෙඞ් කරුවන් තමන්ට දොල පිදේනි දෙන තමන් රැකබලාගන්නා තමන්ගේම කට්ටිය නිසා ඔවුන් රැක බලා ගැනීමේ යුතුකමක් අපේ කම ගැන ඉහළින් සළකන සංස්කෘතියකින් පැවත එන තමන්ට ද ඇති නිසා ය
16 ඔය ඉතින් මහ ලොකුවට බලා හිටියේ දැන් සියයට පුලූවන් නම් ගනිල්ලා කියලා පොඩි වගාඩම්බරයක් පෙන්නීමට පුංචි පහේ ආසාවක් ඇතිවුන නිසා ය
17 කාර්වල එහාමෙහා යන මිනිසුන්ට ජනතාව විඳින දුක මේ යයි තේරුම් ගැනීමට මේ නිසා අවස්ථාවක් ලැබෙන නිසා ය
18 සමහර ප‍්‍රශ්න කාලයත් සමග ඉබේ විසඳෙන නිසා ය
19 මර්වින් සිල්වා ඇමතිතුමාගේ බිඳවැටුණු ප‍්‍රතිරූපය ගොඩගන්නට අවස්ථාවක් ඔහුට ලබා දිය යුතු ව තිබෙන නිසා ය
20 ෆවුසි මහතා මේ දවස්වල ශෝකයෙන් පසුවන නිසාත් බන්දුල ගුණවර්ධන මහතා සිමෙන්ති කොට්ට වල නිශ්පාදන වියදම ගණනය කිරීමේ කටයුතුවල නියැලෙමින් ඇති නිසාත් මේ ගැන මැදිහත් වීමට කිසිවෙකුත් නැති නිසාත් ය
21 මේ ගැන පියවරක් ගත යුත්තේ කවර ආමාත්‍යංශයකින් ද යන්න පිළිබඳව තවමත් නොනිමි විවාදයක් ආණ්ඩුව තුළ මෙවෙලේත් පවතින නිසා ය
22 වතුරවලින් කාර් දිවවීමට පිළිවන් බවට කළ දේශීය සොයා ගැනීමට බකප් එකක් දීම දේශ හිතේෂී රජයක යුතුකමක් වන නිසා ය ඒ සඳහා මේ කි‍්‍රයාවලියෙන් අවස්ථාවක් ලබා දිය හැකි නිසා ය
23 පෙට‍්‍රල්වලින් ලැබුණු ආදායම ඉදිරියේදී නොලැබුණොත් රට කරවන්නේ කොහොමදැයි දහ අතේ කල්පනා කරමින් සිටින හෙයින් වෙන එකක් ගැන කල්පනා කිරීමට බැරි නිසා ය
24 නත්තල් නිවාඩුවට රට යන්නට වගකිව යුතු බොහෝ දෙනෙක් සූදානම් වන නිසා හා මේ දිනවල ඒ වෙනුවෙන් සිය ගමන් මලූ සූදානම් කරමින් සිටින නිසා ය
25 නත්තල් කාලයේ ඉහළ යන බඩුමිල පිළිබඳ අවධානයෙන් මිනිසුන් මුදවා ගැනීමට මේ විපර්යාසයට හැකි නිසා ය
26 මීට වැඩි දෙයක් කළත් මිනිසුන් මුවින් නොබැණ ඉවසන බව දන්නා නිසා ය
27 බොහෝ දෙනෙක් ෂෙඞ් අයිතිකරුවන්ට දෙස් දෙවොල් තබා මෙයට තිත තබන නිසා ය
28 සිදුව ඇත්තේ කුමක් දැයි ප‍්‍රශ්න කිරීමට සමත් හරිහමන් මාධ්‍යයක් හෝ විරුද්ධ පක්ෂයක් තවමත් රටේ නැති නිසා ය
29 රටේ අහේතුව නිසා ය
30 මෙයට වඩා සේවයක් මේ රටේ අඳබාල පුරවැසියන් රැල ලැබිය යුතු නැති නිසා ය

Advertisements
Posted in: Uncategorized