තේ දල්ලේ දුක කියන්නේ කාට ද

Posted on December 21, 2008



අප මෙතෙක් ශ‍්‍රී ලංකාව දැන සිටියේ තේ අපනයනය කරන රටක් වශයෙනි. එහෙත් එය හරි හරියට තේ ආනයනය කරන්නටද පටන් ගෙන ඇති බව දන්නේ ටික දෙනෙකි. අඩුමිලට තේ ආනයනය කර ශ‍්‍රී ලංකා ලේබලය අලවා ඒවා අපනයනය කරන සරු ජවාරමක් ආරම්භ කර තිබුනේ දේශපාලන ආශීර්වාද යටතේ බව කියන ලිපියක් මේ සතියේ රාවය පුවත්පතේ පළ වී තිබිණි.

රංජිත් ගුණවර්ධන මහතා විසින් ගොනු කර තිබූ ඒ ලිපියට අනුව මේ ජාවාරමේ ප‍්‍රතිඵලයක් ලෙස හොඳම තේවලට තිබුණු ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය දැනටමත් විනාශ වී ගොසිනි.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිරූපයන් තිබූනේ ස්වල්පයක් දේ සම්බන්ධයෙන් පමණකි. එයින් තේ පිළිබඳ ප‍්‍රතිරූපය ඉදිරියෙන්ම තිබූ එකකි. දේශපාලූවන්ගේ බඩගෝස්තරවාදයට පින්සිදුවන්නට එයත් අපට නැතිවී ඇතැයි ලිපියෙන් පෙනී යයි.

පහුගිය දිනවල සාමාන්‍ය තේ කිලෝ එකක් සඳහා ඉන්දියානු තේ වලට ඩොලර් 3.44 ක් ලැබෙන විට ශ‍්‍රී ලංකා තේ සඳහා ලැබී ඇත්තේ රු 290 ක තරම් අඩු මුදලකි.

සංඛ්‍යාලේඛන පවසන අන්දමට ලෝක ආර්ථික අවපාතය නිසා තේ පරිභෝජනයේ වෙනසක් සිදුව නැත. අපේ තේ අපනයනය සීමා වී ඇතත් කෙන්යාවේ හා චීනයේ තේ වලට වඩා හොඳ මිලක් ලැබෙමින් තිබේ.

තමන්ගේ සියලූ ගොන්කන් හා අලූගොත්තර කම් ලෝක ආර්ථිකය පිට පටවා අත පිහදාගන්නට රජයට කටයුතු කරන බව මේ සියල්ලෙන් පැහැදිලි වෙයි.

අපගේ ශෝකයට වඩාත්ම හේතුවන කාරණය නම් ආනයනය කර ඉන්පසු පැකට් කරන තේ ප‍්‍රමාණය කොතෙක් ද කියා කියන්නටවත් තේ කොමසාරිස්ට නොහැකි ව තිබීම ය. ඒ ශෝකය වඩාත් තීව‍්‍ර වන්නේ දේශිය නිශ්පාදනයට අත දෙනවා යයි කියන ආණ්ඩුවක් හා ඊට පිට පොට ගැසූ සියලූ දේශ හිතේෂීයන් ඒ තුළ සිටියදී මේ අවනඩුව සිදුවීම පිළිබඳව ය.

එසේ කරමින් ලෝක ආර්ථික අර්බුදයට සියලූ වගකීම පැවරීම පිළිබඳවය. බොරුව හා වංචාව සමග ජවාරම ද හරි හරියට කෙරෙමින් තිබීම ගැන ය. ඒ සියල්ල මැද උණුවතුරත් නිවලා බොන උපාසකයින් ලෙස පෙනී සිටීම ගැන ය.

Advertisements
Posted in: Uncategorized