ආණ්ඩුව සිමෙන්ති ද අනාගත්තේ ය

Posted on December 21, 2008



බඩුමිල අඩුකිරීම් පහුගිය දිනවල සිදුකෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. පළමුව විදුලි බල ගාස්තු ද දෙවනුව පැට‍්‍රල් මිල ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අඩු කරන ලද්දේ ය. මේ කෙණහිල්ලෙන් මිදී ආණ්ඩුවට ද ලකුණු දමාගෙන තමාගේ ප‍්‍රතිරූපය ද ඒ අතරේ නංවාගන්නා විදියක් ඇමතිවරයෙකුට කල්පනා විය.

ආණ්ඩුවට ඒ ගෞරවය ලබා දී තමන්ට ත් ලකුණු දාගන්නට උත්සහ කළේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ය.

ශ්‍රේෂ්ඨාධිකරණය තෙල් මිල අඩුකරන අතරේ එතුමා සිමෙන්ති මිල රු 75 කින් අඩු කළේ ය. ආණ්ඩුවේ ආධාර කරුවෝ තෙල් මිල අඩුකිරීමටත් වඩා ඉහලින්  සිමෙන්ති මිල අඩුවීම ගැන කතා කළෝය.

එහෙත් ඒ කතාවට වැඩි ආයුෂ නොවී ය. සිමෙන්ති මිළ අඩුකිරීමට ඇත්තෙන්ම වගකිව යුතු කුමාර වෙල්ගම ඇමතිවරයා කීවේ බන්දුල ගුණවර්ධනගේ කතාව කිසිදු අධ්‍යයනයකින් විමසීමකින් තොරව කරන ලද නිකම්ම නිකම් පුහු කතාවක් බව ත් සිමෙන්ති මිල අඩු කළ නොහැකි බවත් ය.

මට කණගාටු බන්දුල ඇමති ගැනවත් ඔහු නිසා අමාරුවේ වැටුනු වෙල්ගම ඇමති ගැනවත් සිමෙන්ති අඩුවට ගන්නට සිතාගෙන තම වැඩ කල් දැමූ පාරිභෝගිකයින් ගැන වත් නොවේ. ආණ්ඩුව වෙනුවෙන් කඬේ යන්නට හැකිව තිබූ එකම අවස්ථාවද මග හැරී ගිය කුලියට කහින්නන් ගැන ය.

මෙයින් ඔවුන්ට කැස්ස හිස්මොලේ යන්නට ඉඩ ඇති බැවිනි.

ජනතාවට බොරු නොකර සැබෑ ලෙස සේවය කරන්නට හිතාගන්නා තාක් ආණ්ඩුවට සිදුවනු ඇත්තේ අනාගන්නට ය. මෙසේ අනාගන්නා විට කුලියට කැහීම එන්න එන්නම අමාරු කාර්යයක් වනවා ඇත. කහින අය ඒ නිසා පරෙස්සමෙන් කැහිය යුතු ය.

Advertisements
Posted in: Uncategorized