මර්වින් ආණ්ඩුව බාර ගනී

Posted on December 20, 2008



පහු ගිය දවස් ගෙවුනේ ආණ්ඩුවක් නැතිව ය. පෙට‍්‍රල් ෂෙඞ් කාරයෝ තමන් ට රිසි ලෙස පාරිභෝගිකයින් අමාරුවේ දැමූහ. ආණ්ඩුවක් පවතිතැයි ජනතාවට වැටහුනේ ම නැත. ඉන්ධන පෝලිම් ගැහෙන්නට ඉඩ දී ආණ්ඩුව බලා සිටියේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙකේ කොලයට දමා තිබීම නිසා ජනතාව සමග අමනාපයෙන් දෝ ආණ්ඩු කරවූවෝ මේ පෝලිම්වලින් කාලකන්නි සතුටක් ලබා ගන්නට ඇත. සිදුවූ දෙයින් අන්දමන්ද වීම නිසා ඔවුන්ට මොකක්වත් කරගන්නට කල්පනා නොවූවා වන්නට ද පුලූවන.

අවසානයේ සිදුවෙමින් පැවති දෙයට සංවේදී වූ එකම ඇමතිවරයා වූයේ මර්වින් සිල්වා ය.

එතුමා ජාතිය අමතමින් කීවේ නිසි තොග පවත්වා නොගන්නවුන්ගේ බලපත් අහෝසි කරන බව ය. අපගේ බ්ලොග් සටහනකින් ආණ්ඩුව මෙසේ නොකරන්නේ මන්දැයි ඇහුවා අපට මතක ය. ඒ ඇරෙන්නට ඒ වගක් මාධ්‍යයකින් වත් ඇසුවේ දැයි අපි නොදනිමු.

සංවේදී වීම සම්බන්ධයෙන් මර්වින් ට අපගේ ගෞරවය හිමිවන අතර මේ සඳහා මර්වින්ට කටයුතු කිරීමට සිදුවූයේ ඇයි දැයි දැන ගැනීමේ කුතුහලයක් ද ඒ සමගම අපට ඇත. පර්මිට් කීපයක් අවලංගු කළොත් දෙන්නට තමන්ගේ අය කීප දෙනෙක් සිටිය හැකි ය යන කාරණයට අමතරව වෙනත් බලයක් මේ සම්බන්ධයෙන් මර්වින් ට තිබේ ද? අප දන්නා පමණින් මර්වින් කම්කරු අමාත්‍ය ධුරයක් දරයි. පෙට‍්‍රල් ෂෙඞ් සමග එය සම්බන්ධවන්නේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැත.

බල්ලාගේ වැඩ ය ඌ නොකරන විට එය කිරීමට බූරුවාට සිදු විය.

බූරුවකු හෝ මැදිහත්ව බල්ලා ගේ වැඩය කරනු ඇතැයි ද පාරිභෝගිකයන් වෙහෙසට පත් කරන ෂෙඞ් මාෆියාව කවුරුන් හෝ පාලනය කරනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.

මර්වින් ට ශ්‍රේෂ්ඨාධිකරණයේ සරණයි.

Advertisements
Posted in: Uncategorized