ආණ්ඩුව පෙරලීමට කුමන්ත‍්‍රණයක්

Posted on December 18, 2008



ඊයේ රාති‍්‍රයේත් අදත් මේ පිළිබඳව විශාල ආන්දෝලනයක් මාධ්‍යවලින් දැක ගත හැකි විය.

ලෝකයේ කුමන්ත‍්‍රණ ගැන කුප‍්‍රසිද්ධ රටක් වේ නම් ඒ ලංකාව ය. ඒ වෙන රටවල කුමන්ත‍්‍රණ සිදුවනවාක් මෙන් මේ රටේ කුමන්ත‍්‍රණ සිදුවන නිසා නොවේ. ඇත්තටම තවම එවැන්නක් වාර්ථා වී නැතැයි ඔබට කිව්වොත් සමහරවිට ඔබ පුදුම වෙනු ඇත. ඒ තරමටම ඔබ මේ ගැන අසා ඇති නිසා ය.

මේ දිනවල සිදුවන කුමන්ත‍්‍රණයට මුහුණ දීමට පොලීසිය සූදානමින් තබා ඇති බව පොලිස් විශේෂ නිවේදනයකින් අද රටට හෙළි කරන ලදී. ඒ නිසා බය නැතිව මගේ කටයුතු කරගෙන යා හැකි යයි සිතුන බැවින් මම පාරට බැස්සෙමි.

අහෝ වෙනදා මෙන්ම සියල්ල සන්සුන් ය. සූදානම්ව තබා ඇතැයි කිවූ පොලිස් නිලධාරීන් තබා වෙනදා මුණ ගැහෙන රථවාහන අංශයේ පොලිස් කරුවාද දැක ගන්නට හිටියේ නැත.

ඔවුන් හැම දෙන පොලිසිය ඇතුලේ බැරැක්කවලට වේලා මෙලහකට සූදානම් වෙනවා ඇතැයි මට සිතිණි. එහෙමමත් නැත. ඊළග හන්දියේ සුපුරුදු රථවාහන පොලිස් නිලධාරියා දැක ගන්නට ලැබිණි.

මා නම් හිතන්නේ පොලීසියේ එක ප‍්‍රකාශයකින් කුමන්ත‍්‍රණකරුවන් බියේ සැගවෙන්නට ඇත කියාය.

පොලීසිය ප‍්‍රකාශයෙන් කීවේ ජනතාවට ගොන්නු වාගේ ඉන්නට කියාලාය.

ගොන්නු මෙන් සිටීමේ ක‍්‍රම දෙකක් තිබේ. එකක් අන්දරේගේ අම්මා ගොන්නු සිටිය යුතුයයි අපේක්ෂා කළ ආකාරයයි. අනෙක අන්දරේ ගොන්නු සිටිය යුතුයයි සිතූ ආකාරයයි.

නිකම් විහිලූ කරන්නට වුවමනා නැත. ජනතාව කියන විදිහට ඉන්නට සූදානම් බව බොහෝ ආකාරවලින් පළ කර ඇත්තාහ.

සෙසු කුමන්ත‍්‍රණ මෙන්ම මෙය ද ඉක්මණින් පහව යන වළාකුළක් වෙනවා ඇත. එතෙක් ආණ්ඩුවට යුද්ධයේ සරණයි.

Advertisements
Posted in: Uncategorized