එහෙමවත් වූයේ නැත්නම් අපි අනාථ ය

Posted on December 17, 2008



මිලිටරීකරණය වී ඇති දේශපාලන අධිකාරිය දේශපාලනීයකරණය වී ඇති මිලිටරිය හා විධායකකරණය වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය – මේ දිනවල නිතර ඇසෙන කතා බහ අතර තිබේ.

යුද හමුදාපති දැන් වැඩිපුර කරන්නේ රටේ හා ලෝකයේ දේශපාලනය සම්බන්ධව තම අදහස් පළ කිරීම ය. හේතුව යුද්ධය දේශපාලනය වී ඇති නිසා එසේ නොකර බැරි වීම ය.

ජනාධිපති වැඩිපුර කරන්නේ යුද්ධ කිරීම ය. ඒ යුද හමුදාපති දේශපාලනය කරන නිසා කවුරුන් හෝ යුද්ධයත් කළ යුතු නිසා ය.

විධායකය වෙනත් දේ කරන නිසා විධායකය විසින් කළ යුතු වැඩ බාර ගෙන තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

විභාග කොමසාරිස් අපොස සාපෙ විභාගයට වාඩිවිය යුතු ශිෂ්‍යයින්ගෙන් කී දෙනෙක් කොටි විසින් ලමා සොල්දාදුවන් බවට පත් කර ඇත් දැයි සොයන්නට තමන්ගේ ඔත්තු අංශය සමග කටයුතු කරන බැවින් (පසුගිය රාවය පුවත්පතේ මුල් පිටුවට අනුව) විභාග ප‍්‍රශ්න පත‍්‍රවල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමට සිදුව ඇත්තේ විද්‍යුත් මාධ්‍ය වලට ය.

ආණ්ඩුව තමන්ගේම වැසියන්ට කන්න අඳින්න ඇත් දැයි නොසොයන විට එය හොයන්නට සිදුව ඇත්තේ අල්ලපු ගෙදර ආණ්ඩුවට ය.

ආරක්ෂක අමාත්‍යාංශයට සමාව ගැනීමේ ප‍්‍රකාශ නිකුත් කිරීමට සිදුව ඇති නිසා යුද පෙරමුණට සපත්තු වතුර බොතල් සැපයීමේ කටයුතුවල වගකීම අරගැනීමට සිදුව තිබෙන්නේ පාසල් සිසුන් ය.

විකල්ප යයි කියාගන්නා පුවත්පතක්වත් අපේ අඳෝනාවන්ට ඉඩක් දෙන්නේ නැත. හදවත තුළ කැකෑරෙන කළකිරීම එළියට දමාගන්නට හෝ අපව ඇද ගෙන යන මේ ප‍්‍රපාතය දැක දැකත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිරීමට අප අපොහොසත් වීම නිසා අප තුළම ඇතිව ඇති එපා වීම කියා ගන්නට අපට නොහැකිව තිබේ. අපි ටික දෙනෙක් පමණක් කියවන බ්ලොග්වලටම ලියන්නට අපට සිදුව ඇත්තේ ඒ නිසා ය.

තවත් බොහෝ දේ ඉදිරියට සිදුවීමට නියමිත ය. මොනවා නැතත් සිනහසීමට විහිලූවලින් නම් අපට අඩුවක් තිබෙන එකක් නැත. බඩුමිලත් ඉහළ යන කාලයේ එහෙම එකකින්වත් සැනසිය හැකිවීම ලොකු දෙයකි. එසේ නොවූයේ නම් අපි අනාථ ය.

Advertisements
Posted in: Uncategorized