අනේ මේ දෙන්නා සොයා දෙන්න

Posted on December 16, 2008



ඔවුන් මහලූ ය. අවසාන වරට දකින විට දෙදෙනාම ඇඳ සිටියේ රතු කමිස ය. හිසට රතු තොප්පියක් බැගින් පැළඳ සිටි අතර දෙදෙනාම රැවුල වවා සිටියෝ ය. එක් කෙනෙක් වී අයි ලෙනින් වගේ රැවුලකටත් අනෙකා ලියොන් ට්‍රොට්ස්කි වගේ රැවුලකටත් හිමිකම් කීවෝය. ඔවුන් නිවුන් සොහොයුරන් ය. හැඩ රුවත් වැඩත් බොහෝ දුරට එක වගේ ය.

එකිනෙකා අභිබවමින් කෑ ගසන්නට මේ දෙදෙනා පුරුදු වී සිටිය මුත් අවසාන කාලය වනවිට එහි ප‍්‍රතිපක්ෂය ඔවුන් ප‍්‍රදර්ශනය කළේ එක්කෙනෙක් අභිබවන්නට අනෙකා මුණිවත රැකීමට කටයුතු කිරීමෙනි.

එක් මහල්ලෙක් ඩිව් ගුණසේකර මහතාගේ ගෙදරටත් අනෙකා තිස්ස විතාරණ මහතාගේ ගෙදරටත් සීමා වී අවසාන කාලය ගත කොට ඇත.

දෙදෙනාම එකිනෙකා අභිබවමින් ජාත්‍යන්තරවාදය දේශනා කළ සමයක් තිබිණි. පසු කලෙක ඔවුන්ගේ මුවින් පිටවූයේ ජාති යන අකුරු පමණකි. ඉතිරිවා කටින් එළියට දා ගැනීමේ අපහසුතාවයකින් ඔවුන් පෙළුනු බව තතු දන්නෝ කියති.

ඉන්දියාවේ සිටින එම පරපුරේ ඥාතීන් ඉන්දියාව දෙවනත් කරද්දීත් මොවුන් අසාමාන්‍ය ලෙස මුණිවත රැකීමේ හේතුව නිසාම ඔවුන් මියයන්නට ඇතැයි ඔවුන්ගේ හිතවතුන් අතර සැකයක් පැතිරෙමින් පවතී. සමහරු නම් කියන්නේ ජවිපෙ හා ජානිපෙ ලෙස නැවත උත්පත්තිය ලබා ඇත්තේ මෙසේ මිය ගිය දෙපළ බව ය.

ඔවුන් මරණයට පත්ව ඇතැයි යන හැගීමෙන් හත් දවසේ දානයක් දෙන්නට ඔවුන්ගේ හිතවත්තු පෙළඹී සිටිති. ඊට පෙර අවසාන වරට ඔවුන් සොයා ගැනීමට දරණ ප‍්‍රයත්නයට ඔබේ උදව් අවශ්‍යව තිබේ.

සාරිපොට පිටුපස සැගවෙන්නට පටන් ගත් දා සිට ඔවුන් එලියට එන්නට එතරම් කැමැත්තක් දැක්වූයේ නැතැයි ඥාතියෝ කියති. සමහරු නම් කියන්නේ සැගවෙන්නට සාරිපොටක් දැන් නැතිනිසාත් ඒ වෙනුවට වැඩිපුර දක්නට ලැබෙන්නේ සාටක නිසාත් පුරුද්දට වාගේ සාටකයක්වත් හැංගෙන්නට ඔවුන් විසින් සොයා ගන්නට ඇති බව ය. සැගව සිටීමේ පුරුද්ද ඇබ්බැහියක් තරමටම ඔවුන්ගේ ජීවිතයට එක් ව තිබිණි. ඒ නිසා දැන් ලංකාව පුරා පැතිර යන සාටක අස්සේවත් සැගව සිටියොත් මේ බ්ලොග් අඩවියට ඔත්තුවක් දෙන්නැයි කාරුණික ඉල්ලීමක් කරන්නේ එම නිවුන් සොහොයුරන් වෙනුවෙන් පිහිටුවාගෙන ඇති පුණ්‍යානුමෝදනා කමිටුවයි.

Advertisements
Posted in: Uncategorized