සෙරෙප්පු පහරකින් බුෂ්ට සමුදුන් ඉරාක මාධ්‍ය කරුවෝ

Posted on December 15, 2008



තමන් ඇමරිකාව රැගෙන ගිය අගාධයට බුෂ් ගියේ ඒ පිළිබඳ නිගාවෙන් ගැලවීමේ අපේක්ෂාවෙනි. තවමත් තමන් ඒ කළ මුග්ධ ක‍්‍රියාව නිවැරදි බවත් එහි වගකීම දරණ බවත් රටට හා ලෝකයට කීමේ අපේක්ෂාවෙනි.

අමතක නොවන සංකේතාත්මක සෙරෙප්පු පහරකින් බැට කෑමට බුෂ්ට සිද්ධ විය. ඒ ඉරාක මාධ්‍ය කරුවෙකුගෙනි. පෑනට වඩා බලවත් යමකින් සංග‍්‍රහ කිරීමට ඔහුට  ඕනෑ වූවා නිසැක ය.

එක් සෙරෙප්පු පහරක් නොව දෙකක්ම එල්ල විය. එකක් සමුගැනීම සනිටුහන් කිරීමට ය. එය කිසිසේත් සහෘදයෙකුට කරන සමුදීමක් නොවන බව ලෝකයට කීමට ය. දෙවැන්න ඉරාකයේ කාන්තාවන් වෙනුවෙනි. ස්වාමිපුරුෂයන් මරණයට පත් කිරීම නිසා වැන්දඹුබවට පත්වූවන් ගෙනි. ඒ යුද්ධය සූදුවක් නොවන බව මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ ජීවිත සමග කළ හැකි සෙල්ලමක් නොවන බව කියන්නට ය.

බුෂ් ඉරාකයෙන් පහර කන්නේ ඇමරිකාවෙන් පහර කෑ තුවාල තවමත් සුව නොවී තිබෙන අවස්ථාවක ය. තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා ඇමරිකාව එපමණට ම නොදත් තරුණ කලූ කොල්ලකු අතින් පැරදී තිබෙන අවස්ථාවක ය.

9-11 සිද්ධියෙන් පසු කිසිවක් ඇති නොවූයේ බුෂ්ගේ යුද කි‍්‍රයාමාර්ග නිසා යයි කෙනෙකුට තර්ක කරන්නට පුලූවන. එහෙත් ඒ සියල්ල ඇමරිකාව ගෙන ගියේ අගාධයකට නොවේ දැයි තව කෙනෙකුට පෙරළා අසන්නට ද පුලූවන. ඉවරයක් නොවන එළියට පැමිණිය නොහැකි කාලකන්නි යුද්ධ දෙකක ඇමරිකාව අද කරවටක් ගිලී සිටිනවා පමණක් නොවේ. ඇමරිකන් ආර්ථිකයේද කොන්ද කැඞී අද එය බෙහෙවින් දුබලව තිබෙයි.

බුෂ් පාලනයේ සමස්ථ අර්බුදය විසින් නැවත නැවතත් අපට මතක් කර දෙන්නේ චණ්ඩිපාට්වලට පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවය. අවසානයේ එසේ විශ්වාසකරන චණ්ඩින්ට ජනතාවගෙන් සෙරෙප්පු පහර කන්නට සිදුවන බව ය.

පහත සඳහන් අඩවියට පිවිසීමෙන් සිදුවීම ඒ අයුරින්ම බලා ගත හැකි ය. Shoes thrown at Bush on Iraq trip

මේ පිළිබඳ විචාරයක්  indi.ca යන බ්ලොග් අඩවියේ ද පළව තිබිණි.

Advertisements
Posted in: Uncategorized