හදිසියේම ශ්‍රේෂ්ඨ වූ අපේ අධිකරණය

Posted on December 10, 2008



 කෙරවලපිටියේ තාප විදුලි බලාගාරය විවෘත කරන උත්සවයේදී ඇඩු කඳුලින් ගරු ජනාධිපති තුමා කියා සිටියේ තමන්ට මහේස්ත‍්‍රාත්වරයෙකුට තරම් වත් බලයක් නැති බව ය.

ඇත්තටම දුක හිතෙන මේ කතාවට සැබෑ හේතුව රජයෙන් කළ යුතු දෙය නොකෙරෙන නිසා ඒවා කිරීමට අධිකරණයට බල කෙරී ඇති බව ය. තමන් විසින් ඉටුකළ යුතු යුතුකම් ඉටු නොකරන සඳ බලය අහිමිව යාම බලාපොරොත්තු විය යුත්තකි.

මර්වින් සිල්වාගේ මුරණ්ඩු හැසිරීම පාලනය කිරීම ජනතා අපේක්ෂාවක් විය. එය කරන්නට ආණ්ඩුවට නොහැකි විය. ඒ සඳහා තමන් වෙත තිබූ බලය පාවිච්චියෙන් ආණ්ඩුව වැළකිනි. ආණ්ඩුව නොකළ දේ කරගන්නට ජනතාව අධිකරණය වෙත ගියෝය. අධිකරණයට බලය හිමිවූයේ ඒ අනුව ය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සීඝ‍්‍රයෙන් පහළ වැටෙද්දීත් අපේ රටේ ඉන්ධන මිල පහත හෙලීමට අයවැය ඉදිරිපත් කරනු තුරු බලා සිටීමට සිදුවිය. ඒත් අවසානයේ සිදුවූයේ කන්දක් විලිලා මීයෙකු වැදීම ය. එසේවීමට හේතු වී තිබුනේ ජනාධිපතිතුමාගේ ලගම නෑයෙකු වූ අසන්ත ද මැල් මහතාගේ අපූරු ගිවිසුමකි. නෑදෑකම හෝ වෙනයම් හේතුවක් නිසා සැබෑ හේතු සැගවූවා මිසක වෙනත් යමක් සිදු නොවන බව දුටු ජනතාව අධිකරණයට ගියෝ ය. අධිකරණයට බලය හිමිවන්නේ ඒ අනුව ය.

රාජ්‍ය දේපළ තමන්ගේ දේපළ සේ සළකා පරිහරණය කරන පුරුද්දක් රටේ නායකයින්ට තිබුනේ ය. ඊළගට පත් වන අය කළේද පරණ අය ගිය පාරේ දිගටම යාම මිසක ඒ වැරදි සොයා ඒවාට දඩුවම් කිරීම නොවේ. මේ කොල්ලය නවත්වනු වෙනුවට මුවහත් වෙනු දුටු ජනතාව අධිකරණයට ගියෝ ය. අධිකරණයට බලය ලැබෙන්නේ ඒ අනුව ය.

කුමන තීන්දුවයක් දුන්නත් අපි අධිකරණයට හිස නමමුයි කියන ජනාධිපතිතුමා ඊට සමගාමීව එසේ කරන්නට සිදුවීම ගැන කම්පා වනු ද පෙනේ. කියවෙන හා නොකියන කතා ද කියන්න බල කෙරී ඇති කතා හා කියන්නට කැමති කතා ද අතර වෙනසක් මෙයින් දැක ගත හැකි ය.

ජනාධිපතිතුමා ශෝකයෙන් සිටින විට අපට ද එතුමන් කෙරෙහි අනුකම්පාවක් පහළවෙයි. ඒ නිසාම අපි මෙසේ කීමට කැමැත්තෙමු. එතුමාට මේ අකරතැබ්බයෙන් ගොඩ ඒමට කරන්නට තිබෙන්නේ සරල දෙයකි. නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ලා පමා නොවීම ය. එවිට තමන්ගේ හිස කෙළින් තබා ගෙන සිටින්නට එතුමන්ට හැකිවනු ඇත. එතුමන්ට ඒ සඳහා ශක්තියත් ධෛර්යයත් ලැබේවා යයි අපි ඉත සිතින් පතමු.

Advertisements
Posted in: Uncategorized