වැරදිකරුවන් නැති දේශයක්! වෙන කොහෙන් හොයාගන්න ද?

Posted on December 8, 2008



වැරදි කරන කෙනෙක් නැතිව වැරදි ඉබේ සිදුවෙයි.

හෙජින් ගනුදෙනුව තුළ වැරැද්දක් සිදුව තිබේ. හැබැයි කළ කෙනෙක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව වැරැද්ද අසන්ත ද මෙල් ගේ හා ෆවුසි අමාත්‍යවරයාගේ ය. එහෙත් ෆවුසි අමාත්‍යවරයාට අනුව එහි වැරැද්ද මහබැංකු අධිපති කබ්රාල් මහතාගේ උපදෙස් අනුමත කළ කැබිනට් මණ්ඩලයේ ය.

වැරැද්ද ඇත්තටම කළේ කවුදැයි හොයා ගත නොහැකි ය. වැරැද්ද අසන්ත ද මැල් ගේ නම් ඔහු ඉවත් කිරීම ඒ සඳහා සෑහෙන දඩුවමක් ද යන්න ද වෙනම උත්තර ලබා ගත යුතු ප‍්‍රශ්නයකි.

කසාය බිවු ගොලූවන් මෙන් බොහෝ දෙනා ජීවත් වෙන්නේ බිය නිසා ද නොදන්නා කම නිසා ද නැතිනම් අසංවේදී නිසා දැයි සොය බැලිය යුතු ය.

අප බලය ලබා දී ඇත්තේ පාලකයන්ට හොරකම් කරන්නට හා එසේ කර අසුවූ පසු ඔවුන්ට ගොලූවන් මෙන් ජිවත් වන්නට ද?

වැරදිකාරයා හොයන්නට අවංක උත්සහයක් ගනු ඇත් ද? එකක් වෙනුවට හතරක් පහක් විමර්ශන කණ්ඩායම් පත් කරනු ඇත් ද? අවසානයේ වෙනත් බොහෝ විමර්ශනවලට අත්වන ඉරණම අත්වී කාලයේ වැලි තලා යට මෙය සැගවෙනු ඇත් ද?

මුක්තිය අවසන් වූ කාලයක පසුව මතුවන තුරු හෝ මෙය යට යයි ද? ඊට කලින් මුක්තිය සදාකාලික කරගැනීම සඳහා දේශපාලන පෙරළියක් කර ගැනීමට පුනරීන් හා කිලිනොච්චි ඌෂ්ණය මැද්දේ තව මැතිවරණයක්වත් පවත්වමුද?

ඩොලර් මිලියන 400 ක් යනු පොඩිපහේ එකක් නොවේ. කවුදෝ කියා තිබුනේ මුලූ ලංකාවේම ඛනිජතෙල් අවශ්‍යතා නොමිලේ මාස තුනක් සපුරාලීමට එය සමත් වනු ඇත කියා ය.

කර්තෘ කෙනෙක් නැතිව වැරදි සිදුවන නිසා කර්තෘ කාරක ව්‍යාකරණ භාවිතයෙන් දැන් පළක් නැත. කර්ම කාරක පමණක් දැන සිටීම ලංකාවේ ශිෂ්‍යයින්ට සෑහේ.

මේ රට අප විසින්ම හඳුන්වා දෙනු ලබන්නේ දියත මත ඇති මෙවන් අන් රටක් නැත land like no other යන පුරාජේරුවෙනි. ඒ නිසාම එය ඔප්පු කරලීමට ජීවත් විය යුතු ය. අප මේ කරමින් සිටින්නේ එයයි.

Advertisements
Posted in: Uncategorized