තම අභිප‍්‍රායන් වෙනුවෙන් බුදුන් විකිණීම

Posted on December 4, 2008



අභිප‍්‍රාය නිවැරදි නම් මාර්ගය කුමක් වුවත් කමක් නැතැයි සිතන පිරිසක් සිටිති. එසේ සිතන්නේ ත‍්‍රස්තවාදය සිය දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පාවිච්චි කරන්නන් පමණක් නොවේ.

ත‍්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කරන අය ද එසේ සිතති.

තම අභිප‍්‍රායයන් වෙනුවෙන් අම්මා අප්පා පමණක් නොව බුදුන් වුව විකුණනන්ට ඔවුහු පසුබට නොවෙති.

එවැනි එක් අයෙක් මට හමු විය. එවැනි සියලූ දෙනා තේරුම් ගැනීම සඳහා ඔහුව විශ්ලේෂනය කරන්නට මට අවසර දෙන්න. ඒ සඳහා මා කැඳවන්නේ නාමල් උඩලමත්ත මහතා ය.

නාමල් උඩලමත්ත මහතා පෙන්වන්නට හදන්නේ තමන් බුදුදහම හොඳින් දන්නා බව ය (අපගේ බ්ලොග් අඩවියේ පළවූ බුදුරජුන් සිටියේ නම් කුමක් කරනු ඇත් ද යන බ්ලොග් සටහනට ඔහු සපයන ප‍්‍රතිචාර වලින් පැහැදිලි වන පරිදි).

මගධ දේශයෙන් එන සුළඟත් සැපයෙකි යැයි බුදුන් වදාළ එක් වැකියක් පාවිච්චියට ගෙන බුදුන් වහන්සේ ද නාමල් වැනිම තම ජාතියට සුවිශේෂ ලෙස ආලය කළ පුහුදුන් පුද්ගලයෙක් ලෙස ඔහු විසින් අවමානයට ලක් කර තිබේ.

ඒ තම අභිප‍්‍රාය වෙනුවෙන් ය. මේ ප‍්‍රකාශය බොහෝ දෙනා මේ වෙනුවෙන්ම භාවිතා කර ඇති නිසාම ඉදිරියටද භාවිතා කරනු ඇති නිසාම මෙහි පසුබිම් කතාව දැන කියා ගෙන සිටීම වැදගත් ය.

ඒ කාලයේ ශාක්‍ය වංශිකයින් හා යුදවදින්නට සැදී පැහැදී ගත් පිරිසක් මුණගැසී බුදුන් එසේ කීවේ ඇතිවිය හැකිව තිබූ යුද්ධයකින් ලේ වැගිරීමකින් වළක්වා ගැනීමට ය. බුදුන් එසේ කියද්දී තවදුරටත් යුද කිරීමේ අසමත් ප‍්‍රතිවාදීන් හැරී ගිය බව කතාවේ සඳහන් ය.

බුදුන් සිය උපන් දේශයෙන් හමන සුළඟ සැපතෙකැයි කීවේ ඇතිවන්නට තිබුණු මනුෂ්‍ය ඝාතනයක් වළකන්නට ය. නාමල්ලා ඒ සුළඟම සැපයයි දකින්නේ මනුෂ්‍ය ඝාතනය උත්කර්ෂවත්වයට නංවන්නට ය. වෙනස ඇත්තේ එතැන ය.

ඔබගේ මතවාදයට ඇති ඇල්මෙන් මුසපත් වී බුදුන් පුහුදුන් මිනිසෙකුගේ තත්වයට පහත හෙළීම මගින් ඔබ කරන්නේ ඔබගේ අභිප‍්‍රාය වෙනුවෙන් බුදුන් විකිණීම ය. එය සමාන කළ හැක්කේ සෙරෙප්පුවක හෝ බිකිණියක බුද්ධ රූපයක් මුද්‍රණය කර මුදල් ගරා ගැනීමට ඉදිරිපත් වන ව්‍යාපාරිකයෙකුගේ හැසිරීමට ය.

අභිප‍්‍රාය යහපත් වීම පමණක් සෑහෙන්නේ නැත. එය සාක්ෂාත් කරගන්නා මාර්ගය ද යහපත් විය යුතු ය. ත‍්‍රස්තවාදීන් පමණක් නොව ඊට විරුද්ධව වැඩ කරන්නන් ද මේ ගැන නැවත නැවතත් සිතිය යුතු ය.

Advertisements
Posted in: Uncategorized