අපේක්ෂාවේ ප‍්‍රතිපක්ෂය ලැබීම නොහොත් ඉල්ලාගෙන කෑම

Posted on December 4, 2008



සමහර දෙමාපියෝ දරුවන් රැක ගැනීමට උන්ට මුකුත් කරන්නට (ගස් නගින්නට, පාරේ යන්නට පමණක් නොව යහලූවන් ඇසුරු කරන්නට ද) ඉඩ නොදෙති. අපේක්ෂාව දරුවා රැක ගැනීම ය. සිදුවන්නේ ඔවුන් අපේක්ෂා නොකළ දෙයමය. තනියම රැකෙන්නට නොහැකි අසරණයෙකු ලොවට ඉතිරි කිරීම ය.

සමහර ගුරුවරු ළමයින් හැදීමට කරන්නේ දැඩි නීති රීති දැමීම ය. දැඩි දඩුවම් පැමිණවීම ය. නීති රීතිවලට එරෙහිව කැරලි ගසන දරුවන් සමාජයට දයාද කර දීමට පමණක් ඔවුන්ට හැකිවේ.

සමහර කඩ කාරයෝ හා ව්‍යාපාරිකයෝ කරන්නේ ඉක්මණින් මුදල් ඉපැයීමට තත්වයෙන් බාල භාණ්ඩ හංගා විකිණීම ය. මුදල් ලැබීම කෙසේ වෙතත් වැඩි කලක් යාමට පෙර කඩය වසා දමන්නට ඔවුනට සිදුවේ.

සමහර ආදරවන්තයින් කරන්නේ වැඩි ස්නේහයට ආදරවන්තියට හිරු එළිය වත් වදින්නට නොදී රැක ගැනීමට කටයුතු කිරීම ය. ලෝකයම අහිමිව ඇති බව දකින ආදරවන්තිය ඒ ආදරයට අනපේක්ෂිත ලෙස තිත තියනවිට පමා වෙලා වැඩි ය.

හාමුදුරුවරු බණ දහමෙන් සිය අනුගාමිකයින් මෙල්ල කරගනු බැරිව ඒ සඳහා රජයේ නැතිනම් නීතියේ සහය පතති. සිදුවන්නේ ආගම හෑල්ලූවට ලක් වීම ය. නීතියෙන් ආණ්ඩු මට්ටු කළ හැකි නම් ආගමක් අවශ්‍ය ඇයි දැයි මිනිසුන්ට හැගී යාම නිසා ය.

මාධ්‍ය තමන්ගේ මාධ්‍යවලට මිනිසුන් යොමු කරගන්නේ තෑගි ප‍්‍රදානයෙනි. තෑග්ගක් ලැබෙන්නේ නම් මිසක ඒවා අසන්නට බලන්නට නොවටින්නේ යයි යන කාරණය එයින් අදහස් වන බව ඔවුන්ට නොවැටහේ. සිදුවන්නේ තෑගි ගන්නටම සැදී පැහැදී සිටින ටික දෙනෙකු ඉතිරිවී අනිත් අය ප‍්‍රියමනාප විකල්ප සොයාගැනීම ය.

ජාතික කොඩිය ප‍්‍රදර්ශනයෙන් හා ජාතික ගීය නිතර ගැයීමෙන් ජාතික හැගීම වර්ධනය වෙතැයි අපේක්ෂා කළ ද තැන නොතැන නොබලා වේලාව අවේලාව නොබලා දෛනිකව කොඩිය ප‍්‍රදර්ශනයෙන් හා ගීය ගැයීමෙන් සිදුවන්නේ එහි අභිමානවත් බව බොඳවී තුනී වී යාමය.

මේ ලයිස්තුවට ඇතුලූ කළ හැකි තව බොහෝ දේ තිබේ. පොදුවේ මිනිසුන් අසුවන මේ උගුල ගැන වැටහීමක් බොහෝ දෙනෙකුට නැත. සරල තර්කයට මෙය අහු නොවන බැවිනි.

කරුමය නම් තමන් කා ඇත්තේ ඉල්ලාගෙන බව වැටහෙන විට වෙන්නට ඕනෑ හරිය වෙලා ඉවර වීම ය.

Advertisements
Posted in: Uncategorized