බුදු රජුන් සිටියේ නම් කුමක් කරන්නට ඉඩ තිබුනේ ද?

Posted on December 2, 2008



බුද්ධාගමේ නාමයෙන් බුද්ධ පුත‍්‍රයන් විසින් රඟන බහු රූ කෝලම් දකින හැම විටම පාහේ මට ඇති වූ ප‍්‍රශ්නය එයයි.

මගේ සසුනට  ඕනෑම පසුබිමකින් කෙනෙකුට පැමිණිය හැකි ය හරියට මහ මුහුදට බොහෝ ගංගාවලින් වතුර එක්විය හැක්කාක් මෙනි එසේ එකතුවන වතුරට ආවේ කොහින් දැයි අනන්‍යතාවයක් නැතිවාක් මෙන් සාසනයට එකතු වූ පසු ඒ අයගේ පසු බිම කුමක් දැයි සෙවීම අවශ්‍ය නොවේ යයි දෙසූ එතුමන්ට නිකාය මත භේද භින්නව ඉන්න අපේ සඟ පරපුර දෙස බැලූ විට කුමක් සිතෙනු ඇත්ද?

මේ බුදුන්ගේ දේශයයි කියමින් රථය පිටුපස ස්ටිකර් අලවන අයට දේශයක් ජාතියක් වර්ගයක් කුලයක් ගැන නොසිතූ එතුමන් කුමක් කියනු ඇත් ද?

බුද්ධාගම සසරින් එතෙර විය හැකි පවුරක් ලෙස නොව කර ගසා ගෙන යා යුතු කොඩියක් ලෙස දකින්නන් මුණ ගැසුනු සඳ තම දහමටවත් නොඇලෙන්න යයි ප‍්‍රකාශ කළ එතුමන් කුමක් දෙසනු ඇත් ද?

තමන් ශාක්‍ය වංශයට නොව බුද්ධවංශයට අයත් යයි තම පියාට කියූ එතුමන්ට ”සිංහල බුද්ධාගම” ගැන දේශනා කරන සංඝයා නිසා කිනම් සංවේගයක් පහළ වනු ඇත් ද?

යුදවැදි තම නෑයින් අභිමුඛව සාමයේ පණිවුඩය ගෙන ගිය එතුමන්ට තම ආගමේ ආශිර්වාදය මැද යුද්ධය ගෙනයනු දකින විට කුමක් සිතෙනු ඇත් ද?

රජකම අත් හැර මහණ දම් පුරන්නට ගිය එතුමන් විසින් පාර්ලිමේන්තුවට ආපස්සට ගමනක් ගිය සංඝරත්නයට කුමන උපදේශයක් දෙනු ඇත් ද?

ගුරුවරයෙකු හෝ ශාස්තෘන් වහන්සේ හෝ කී පළියට යමක් පිළිගත යුතු නැතැයි දේශනා කළ එතුමන්ට තමන්ගේ අවවාද අනුශාසනාම ප‍්‍රශ්න කිරීමෙන් තොරව පිළිගත යුතු යයි කියන භික්ෂූන්ගේ ගෝරනාඩු ඇසෙන විට කුමන හැඟීමක් ඇතිවනු ඇත් ද?

දහම දෙසා මිනිසුන් දුකින් මුදවනු වෙනුවට පැටව් ගස්සවා බුද්ධාගමේ ගණන වැඩිකරගැනීමට හාමුදුරුවන් සායන සොයා කඩා පනින විට එතුමන්ට කුමක් සිතෙනු ඇත් ද?

පව්වල ආදීනව දෙසා මිනිසුන් පවින් මුදවනු වෙනුවට රජයේ නීති යොදා මිනිසුන් වැරදිවලින් ඉවත් කරන්නට කැසකවන ”බැරි” සංඝයා දුටු විට එතුමන් කුමක් කියනු ඇත් ද?
වැයික්කියේ සීමා මායිම් සළකුණු කිරීමට තම පිළිමය යොදාගන්නා දකින විට එතුමන්ට කවර නම් හැඟීමක් පහළ වනු ඇත් ද?

සියල්ල කණපිට හැරෙමින් තිබේ. මේ පරිහානි සමය ද බුදු හාමුදුරුවනේ! ඔබ වහන්සේ මේ සමයේ සිටියේ නම් ඇත්තටම කුමක් සිදුවනු ඇත් ද?

Advertisements
Posted in: Uncategorized