අප බිය වද්දන්නට හදන අල්ලපු ගෙදර කෝලම්

Posted on December 1, 2008



ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා වූ හානිය පිළිබඳ වගකීම බාර ගනිමින් ඉන්දියාවේ ස්වදේශ ඇමති වරයා ද ආරක්ෂක උපදේශක වරයා ද ඉල්ලා අස්විය.

එන පොට හොඳ නැත. මේ ආදර්ශය නරක ය. අප රටට එයින් එල්ලවෙන බලපෑම සුලූපටු නොවේ.

ශ්‍රේෂ්ඨාධිකරණය අස්වන හා අස්කරන ලෙස උපදෙස් දී තිබියදීත් තවත් කල් මරන රාජ්‍ය සේවකයින් හා ඇමති වරුන් සිටින රටකට එවන් රාජ්‍ය සේවකයින් හා ඇමැත්තන් අස් කිරීමට පසු බානා දේශපාලකයින් සිටින රටකට මෙය වඩාත් නරක ආරංචියකි. ඇත්තටම එය කඳ හරහා දෙනු ලැබූ අතුල් පහරක් බඳු ය.

එංගලන්තයේ හෝ ඇමරිකාවේ වූවා නම් තව ඉවසිය හැකි ය. අල්ලපු ගෙදර මෙහෙම කෝලම් සිදුවන විට කාලා ඉන්නට බැරි ය.

මෙය ඉන්දියාවට නොව ලංකාවට එල්ල කරන ලද ත‍්‍රස්තප‍්‍රහාරයක් ලෙස සැළකිය යුත්තේ එබැවිනි. ඒ අර්ථයෙන් ද මේ ප‍්‍රහාරය හෙළා දැකිය යුතු ය.

එපමණක් නොවේ. මේ තකහනියේ අස්වීම ද අප විසින් ඒ තරම්ම පිළිකුලෙන් හෙළා දැකිය යුතුව තිබේ.

එකම සහනයකට ඇත්තේ මීට වඩා බරපතල යමක් වුවද මේ සම්මජාතියේ අපේ උන්දෑලා නම් අස් නොවන බවට ඔවුන්ගේ අතීත වැඩ කටයුතුවලින් අප තුළ ඇති කර ඇති විශ්වාසයයි.

අපේ උතුමන් මෙසේ අස්වන්නට තැත් කළොත් එසේ නොකරන ලෙස ඉල්ලා ලිප්ටන් වටරවුම දෙවනත් කිරීමට ඒ උතුමන් සතුව ජනතාව ද සිටින බව අපි අත්දැකීමෙන් දනිමු. එය අපට ඇති අමතර සහනයකි.

උන්නාන්සෙලාට තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ගේ සරණයි. ඒ සරණ පතා පන්සලක් ගානේ බෝධි පූජා පවත්වන්නට මේ වේලාවයි.

Advertisements
Posted in: Uncategorized