වැහි බිංදු වැස්ස හා හිල් වහලය

Posted on November 25, 2008



මේ දවස්වල වැස්ස ය. වැස්ස කරදරයක් වුව ද වැහි බිංදුවක් දෙකක් වැටුනාට අප ගණන් ගන්නේ නැත. පොද වැස්සක් වුව ඉවසන්නට සමහරුන්ට පුලූවන. ඒත් වැස්ස තද වනවිට අපට ආවරණයක් වුවමනා ය. ගෙදර ආවිට වහලය හිල්ව ගෙතුළ ද තෙමෙයි නම් එවිට දෙවියන් සිහිවීම වැළැක්විය නොහැකි ය. එවන් විටෙක අප බොහෝ සෙයින් අසරණ වන්නෙමු. කළකිරෙමු. නොතෙමෙන වහලක් තනන්නට අපි අදිටන් කරගන්නෙමු. වැස්ස තුරල් කල වෙලේ සිට ඒ ගැන වෙහෙසෙමු.

මට මේ සියල්ල මතක් වූයේ අපගේ බ්ලොග් අඩවියට ආ ප‍්‍රතිචාර (විශේෂයෙන් බොරුවට නිදාගන්නවුන් ඇහැරවීම යන සටහනට* පිළිබඳ සිත් යොමු කරමින් සිටින අතරතුරේ කඩා වැටුණු මහ වැස්සකින් ගේ තෙමෙන්නට වීමෙනි.

බල පුලූවන්කාරයා දුර්වලයා පෙලීම හැම තැනකම සිදුවන බවත් දෙමළා පෙළෙන්නේ ද ඒ පොදු සත්තාවයට අනුව බවත් එය හිරිහැර ලබන්නා දෙමළ වීම නිසා නොව හිරිහැරකරන්නාගේ එනම් බලපුලූවන්කාරයින්ගේ පටු මානසිකත්වය නිසා සිදුවන බවත් දෙමලූන් එය එසේ තේරුම්ගත යුතුබවත් ඒ ප‍්‍රතිචාරවල දක්වා තිබිණි.

සින්නතම්බීට හා පියසීලිට වූ දේ ඔවුහුද එසේ සැළකුවා විය හැකි ය. ඒ ගම ද ඇතුළත් කඳුකරය උතුර මෙන් තවමත් ගිනිගත්තේ නැත්තේ එබැවින් විය යුතු ය. සින්නතම්බිලාට පියසීලීලාට ඒවා වතුර බිංදු ය.

එහෙත් ඒ බ්ලොග් සටහනේ සඳහන් කර තිබුණු මුරලිදරන්ට වූ හදිය සම්බන්ධයෙනුත් අපට එසේ සිතිය හැකි ද? මුරලි ජාතික වස්තුවකි. අයියලාගෙන් ටොකු කනු ලැබීමට නියමිතව සිටි පුංචි මල්ලියෙකු නොවේ. එහෙත් හරියට අකුරු කීපයක්වත් ගොනු කර ගැනීමට අසමත් මාධ්‍යවේදී අයියලා මුරලි ෆුට්බෝල් පන්දුවකට ගත්තෝ ය.

අප රටේ බොහෝ මාධ්‍යවේදීන් හය හතර නොදන්නවා වුව ද පොදුවේ මාධ්‍යවේදීන්ට සමාජ බලයක් ඇත. බොහෝ රටවල ඔවුන් සැළකෙන්නනේ ව්‍යවස්ථාදායකය විධාකය අධිකරණය ලගට සිටින හතරවෙනි ආණ්ඩුව හැටියට ය. ඔවුන් මුරලිට කළ අවමානය ලඝු කොට සැළකිය නොහැක්කේ ඒ නිසා ය. දෙමලූන් දෙමලූන් වීම නිසා විඳින්නට වී ඇති අවමානය ඈත කුඩා ගමක නොව ජාතික මට්ටමේ දීම ක‍්‍රියාත්මක වන බව එය අපට කියා දෙයි.

ඒවා තවමත් පොදවැස්සක මට්ටමේන් එහාට ගියේ නැත. මුරලිගේ මුදල් හා සමාජබලය නැමැති කුඩය උස්සා මුරලි ඒ පොදවැස්සෙන් ආරක්ෂා වන්නට ඇත. කමිසය මත රැුඳුනු වැහි බිංදු කීපය මුරලි ගසා දමන්නට ඇත.

එත් යාපනයේ පොලිසිය ඉදිරියෙන් යනවිට බයිසිකලයෙන් බැසයන්නට වීම සමාන කළ හැක්කේ හිල් වූ වහලය සහිත තම ගෙයින් මතු වූ අසරණ භාවයට ය. එය වැහි බිංදුවලින් හෝ පොදවැස්සෙන් බැට කෑමට වඩා දරුණු ය. එලියේ වැටෙන අනෝරා වැස්සට ද වඩා දරුණු ය. එලියේ වැස්සෙන් තෙමීම දරාගත හැකි වුවද ගේ ඇතුළත දී වැස්සෙන් තෙමීම දරා ගත හැක්කක් නොවේ. යාපනය සිද්ධිය කියන්නේ ජාතික මට්ටමේ සිදුවන දේට ද වඩා දරුණු සංසිද්ධීන්වලට තමන් උපන් භූමියේදී තමන්ගේ ගෙදරදී තමන්ට මුහුණ දීමට සිදුව ඇති බව ය. මගේ බ්ලොග් අඩවියට ආ ප‍්‍රතිචාරය සින්නතම්බි ලගින් නතර විය. වැහි බිංදුවලින් එහාට ඒවා ගියේ නැත. අඩුවශයෙන් ඒවා මුරලි ලගටවත් පැමිණියේ නැත.

බයිසිකලය තල්ලූකරගෙන යෑමට සිදුවීමත් මහ කජ්ජක් දැයි කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකි ය. පළමුවෙන් කිව යුත්තේ දකුණේ තරුණයෙකුට සිදුනොවන දෙයක් උතුරේ තරුණයෙකුට සිදුවන විට එය කජ්ජක් වන බව ය. මේ කජ්ජ තවත් බොහෝ කජ්ජවල් ඇති වුන බවට ඉගියක් සපයන බව ය. මරාගෙන මැරෙන්නට මිනිසුන් නිකම්ම පොළඹවන්නට බැරි ය. එය පරම්පරා ගණනාවක් තිස්සේ විඳි දුක් ගැහැට එක් වර උතුරා යාමකි. හරියට කේතලයක වතුර නටනවාක් මෙනි.

කූඹියනේ උඹලාටත් රජෙක් ඇත්තේ
අපට රජෙක් නැත්තේ
ඒ නිසා අපි එක එකාගෙන් පීචං වෙමින් සිටිමු
අපි උපන් දේශය තුළම ආක‍්‍රමණිකයාගෙන් අවමන් ලබන්නෙමු
රජෙක් ලැබුණු දාට
අපි මගුල් කන්නම්
පෙරහැර කරන්නම්
සතොසින් නිදහසින් දිවි ගෙවන්නම්

වැහි දිය බේරෙන වහලෙන් ගේ තෙත බරියන් වී ඇත. වැස්ස තුරල් වනතුරු සිටින්නේ කුමක් හෝ කළ හැකි දැයි බැලීම ටය. වහළය හදාගතහොත් මම ද හෙට මගුල් කන්නෙමි.

වහළය හදාගත හැකි රජෙක් සොයනු පිණිස මම පාරට බැස්සෙමි. රජ කුමාරවරු මැදපෙරදිගට ද කැනඩාවට ද  ඕස්ටේ‍්‍රලියාවට ද ඇමරිකාවට ද යුරෝපයට ද සංක‍්‍රමණය වී ඇත. ඒ නිසා රජ කෙනෙකු ලෙස කවරෙකු හෝ ඔටුනු පළඳා කැන්දාගෙන ආ යුතු ය. හැමදාම වසින වැස්සෙන් මගේ ගේ ඇතුළේම නාගන්නට මට බැරිය.

ප‍්‍රභාකරන් උතුරේ ජනතාවට හමුවන්නේ එසේ රජෙකු සොයමින් සිටින අතරතුරේ විය යුතු ය.

Advertisements
Posted in: Uncategorized