බොරුවට නිදාගන්නවුන් ඇහැරවීම

Posted on November 21, 2008



දෙමල වීම නිසා සිදුවුණු හෝ සිදුව ඇති අසාධරණකම් කවරේදැයි යන ප‍්‍රශ්නය නැවත නැවතත් මතුවන්නකි.

සින්නතම්බි කසාද බැඳ සිටියේ පියසීලි වය. මේ පියසීලී කියූ කතාවයි. අපි වතුර බොන ලිඳේ නාන්න සිංහල මිනිස්සු එනවා. අපි කිව්වහම අපි ඔය ලිඳෙන් නාන්නෙ නෑ ඔය වතුර බොන ලිඳය කියල ඒ අය කියනවා උඹලා දෙමල අපි නාන වතුර බිව්වහම මක් වෙනවද කියල? පියසීලී සිංහල නමුත් කසාඳ බැන්දේ දෙමල මනුස්සයෙකි. ඒ නිසා ඈද දැන් දෙමල ය. ඇයටත් ගමටත් දෙගොල්ලන්ටම ඈ දෙමල ය.

මුත්තයියා මුරලිදරන් යනු ලංකාවේ කීර්තිය ලොව පතල කළ කි‍්‍රකට් ක‍්‍රීඩකයා ය. මුරලිදරන් පස්සෙ පස්සෙ ගානට වැඩිවුනා මේ ලගදි මාධ්‍ය වේදීන් එකතුවෙල පර දෙමලා කියල බැන්න. මේ සිද්දිය අපට කීවේද මාධ්‍යවේදියෙකි. ඒ දැනට අවුරුදු දෙක තුනකට ඉහත ය. වෙන මොනව කියලා බැන්නත් එහෙම බැනපු එක නම් හරි නැහැ. මම කීවෙමි. ඔහු පිළිගත්තේ නැත. ගාණට වැඩිවූ නිසා එය කළ යුතු වූ බව ඔහු ඇදහුවේ ය.

මේ දෙකම යුද්දයෙන් පරිබාහිර කරුණුය. දෙකම දකුණේ සිදුවූ දෑ ය. එකක් බොහෝ දෙන නොදන්නා සින්න තම්බිලා ගැන ය. අනෙක හැම දෙනෙක් ම දන්නා මුත්තයියා ගැන ය.

දැන් කියන්නට යන්නේ යාපනයේ කතාවකි. 70 දශකයේ යාපනය පොලිසිය ඉදිරියෙන් බයිසිකලයක් පැද යාම යාපනයේ තරුණ තරුණියන්ට අකැප විය. මෙය අප සමග පැවසුවේ යාපනයේ එවකට රාජකාරියේ නියුක්තව සිටි හමුදා භටයෙකි. ඔවුන් බයිසිකලයෙන් බැස එය තල්ලූකරගෙන යා යුතු විය.

මේ කරුණ දකුණේ සිදුවූ සිද්ධිවලට වඩා දැඩි ලෙස හා තීරණාත්මක ලෙස දෙමළ තරුණයන් තුළ බලපැවැත්වූයේ නම් එහි අරුමයක් නැත. ඒ එවැන්නක් තමන්ගේ පළාතේම සිදු වීම හේතු කොට ගෙන ය. තමන්ගේ නිවස තුළ පිට එකකු අතින් පාච්චල් වීම පිට දී එසේ වීමට වඩා රිදෙන සුලූ ය. එයත් යුද්ධයට පරිබාහිරය.

තුවක්කුව එසවීමට මේවාත් හේතු දැයි කෙනෙකුට අසන්නට පුලූවන. ඔවුන් තේරුම් නොගන්නා කාරණය නම් මේ හැම තැනකම සිදුවූයේ දෙවැනි පන්තියේ පුරවැසියෙකු ලෙස සළකා බැහැර කිරීම බව ය. පරයෙකු ලෙස සළකා ඉවත් කිරීම බව ය. තමන්ගේ රටක් පිළිබඳ අභිප‍්‍රායයන් ගොඩ නැගෙන්නේ පරයන් ලෙස බැහැර කිරීම තුළ ය.

මේ රජය හරියට කරනවා යයි බොහෝ දෙනා විශ්වාස කරන එකම කාරණය වන යුද්ධය මෙහෙයවන අපේ සෙන්පති සරත් ෆොන්සේකා මහතා ද සුලූජාතීන් සිටිය යුත්තේ කොතැන දැයි කීවේ ය. මේ රජයට චින්තනය හා දර්ශනය සපයන චම්පික රණවක මහතා ද ඒ ගැන වැඩිමනත් කීවේ ය.

යුද්ධයට පසු කතා කියලා වැඩක් නැත. ඒවා පහසුවෙන් යුද්ධයට බැර කොට අපට පළා ගිය හැකි බැවිනි.

මේ ප‍්‍රශ්නය ගැන කතා කරන බොහෝ දෙනා ප‍්‍රමිතිකරණය ගැන ජනපදකරණය ගැන මෙන්ම රාජ්‍ය සේවාව සිංහලකරණය ගැන ද කතා කරති. ඒ නිසාම අපි ඒවා ගැන කතා නොකළෙමු. ඒ ආකාරයෙන්ම වාර්ගික හිංසනය එනම් පන්සිල් කියන්නට නොහැකි වූ නිසා හෝ බාල්දිය කියන්නට නොහැකි වූ නිසා මියයන්නට සිදුවූ අහිංසක දමිළයන් ගැන කතා ද ඊට ඇතුළත් නොවිනි. කොතරම් දිග ලයිස්තු සකස් කළ ද ප‍්‍රශ්නයක් ඇතැයි නොපිළිගන්නා අයට පිළිගැන්වීමට බැරි ය.

නිදාගෙන සිටින අය නැගිටුවන්නට පුලූවන් වුනාට බොරුවට නිදා සිටින අය නැගිටුවන්නට බැරි ය.

අවසානයේ අවි දරන්නට වූයේ ද ඒ නිසා යැයි දෙමළ තරුණයින් කියන්නේ නම් අපට එය ප‍්‍රතික්ෂේප කළ හැකි ද?

Advertisements
Posted in: Uncategorized